කළුතර, ගල්පාත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් ජාවාරම්පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට, එහි සිටි කාන්තාවක විසින් දරුණු ගණයේ සුනඛයන් අටදෙනෙකු උසිගන්වා සපා කෑමට සැලැස්වීමේ පුවතක් කළුතර දකුණ පොලිසියෙන් වාර්තා වේ. මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතරින් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා සහ පොලිස් කොස්තාපල් (96625) මනෝජ් යන නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලිස් පරීක්ෂක සුධීර සහ කොස්තාපල් (83935) ක්‍රිෂාන්ත යන නිලධාරීන් ද සුළු තුවාල ලබා ඇත.නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුව ඇති මෙම නිවස කළුතර උතුරු පොලිස් වසමට අයත් සොහොන පහල දියගම ප්‍රදේශයේ පිහිටා ඇත. අඩි 8ත් 10ත් අතර උසැති තාප්පවලින් වට වූ මෙම පරිශ්‍රය තුළ දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස, මත්පැන් පානය කරන්නන්ට අවශ්‍ය කටගැස්ම ද සපයමින් අවන්හලක් ආකාරයෙන් ජයටම මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. මීට පෙර අවස්ථා දෙකකදීම කළුතර පොලිසියේ විශේෂ අංශ දෙකක් මගින් මෙම ස්ථානය වැටලීමට උත්සාහ කළ ද, එය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියගේ නියෝගයකට අනුව පසුගිය 27 වනදා මෙම වැටලීම සිදු කිරීමේ වගකීම අඟුරුවාතොට පොලිසිය වෙත පවරා ඇත.
ඒ අනුව අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අදාළ නිවස වටලා නීති විරෝධී මත්පැන් මිලිලීටර් 1000ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී සැකකාර ජාවාරම්කරුගේ බිරිඳ විසින් නිවසේ කූඩු කර සිටි ජර්මන් ෂෙපර්ඩ් සහ රොට්වයලර් ඇතුළු මිල අධික දරුණු සුනඛයන් අටදෙනෙකුගේ කූඩු එකවර විවෘත කර පොලිස් නිලධාරීන් වෙත උසිගන්වා ඇත. පොලිස් රාජකාරියට බාධා කරමින් සිදුකළ මෙම සාපරාධී බලහත්කාරකම සහ පහරදීම සම්බන්ධයෙන් මත්පැන් ජාවාරම්කරු සමඟ ඔහුගේ බිරිඳ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.