sajaba-angunakolapalassa-local-council-candidate-was-killed-due-to-an-argument

වීරකැටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකදී දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ඇනුමකින් සමගි ජන බලවේගයේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පෙරේදා (27) සිදුවූ මෙම ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ මෙම අපේක්ෂකයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය සඳහන් කරයි.




මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජූල්ගහ කොරටුව, කුඹුක්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් චින්තක කොඩිතුවක්කු නැමැති 30 හැවිරිදි තරුණයෙකි. මූලික පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය සිදුකළ සැකකරු සහ මියගිය සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂකයා එකිනෙකාට සබඳකම් කියන ඥාති සහෝදරයන් බවයි.

සිද්ධියට මුල් වූ පසුබිම පිළිබඳව කරුණු දක්වන පොලිසිය පවසන්නේ මැදමුලන, කිංචිගුණේ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට මොවුන් දෙදෙනාම සහභාගි වී ඇති අතර එහිදී දෙපාර්ශවයක් අතර පළමු බහින්බස්වීම හටගෙන ඇති බවයි. ඉන් අනතුරුව සැකකරු සහ සජබ අපේක්ෂකයා කිංචිගුණේ ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට ගොස් නැවතත් මත්පැන් පානය කර තිබේ. එහිදී ඇති වූ තවත් වාදභේදයකදී සැකකරුගේ මවට ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීමක් සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.




මෙම සිදුවීමෙන් පසු එදින රාත්‍රී 7.30 ට පමණ මියගිය අපේක්ෂකයා සැකකරුගේ නිවසට ගොස් ඇති අතර එහිදී නැවතත් ඔවුන් අතර දැඩි කතාබහක් ඇතිව තිබේ. එම අවස්ථාවේදී ඇති වූ කෝපය නිසා සැකකරු විසින් නිවසේ තිබූ පිහියකින් ප්‍රාදේශීය සභා අපේක්ෂකයාට පහර දී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නයන දෙහිගම මහතාගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වති.

sajaba-angunakolapalassa-local-council-candidate-was-killed-due-to-an-argument