ආරක්ෂිත පටි පැළඳ, අසුන මඳක් පසුපසට කර මෝටර් රථයේ ඉදිරිපස අසුනේ අමුත්තකු සේ හිඳුවා සිටි ඇය දෙස ඝාතකයා වාර අනන්තයක් බැලුවේය. මධ්‍යම රාත්‍රී දොළහට පේරාදෙණිය පාලම අසලින් ඇගේ මළසිරුර රැගෙන යද්දී සිතට දැනුණු මහා බිය පලවා හැරීමට ඔහු මුවින් සින්දු මුමුනමින් සිටියේය.
මනඃකල්පිත කැනඩා සිහිනයක් වෙනුවෙන් තමන් සතු සියල්ල පූජා කළ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක වූ රත්නායක පතිරණගේ දර්ශනී නමැති තරුණිය, ඇගේ පෙම්වතා වූ ව්‍යාජ මෘදුකාංග ඉංජිනේරුවරයකු විසින් නුවරඑළියේ හෝටල් කාමරයක් තුළදී ගෙල සිරකර ඝාතනය කිරීමේ බිහිසුණු පුවතක් නුවරඑළිය මූලස්ථාන පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඝාතනයෙන් පසු ඇගේ සිරුර කුණ්ඩසාලේ ප්‍රදේශයට රැගෙන විත්, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල පිහිටි ආදාහනාගාරයකදී පුලුස්සා සාක්ෂි සදහටම විනාශ කිරීමට සැලසුම් කර තිබුණද, අවසන් මොහොතේ එය ව්‍යර්ථ වීම නිසා මළසිරුර සහිත මෝටර් රථය තෙල්දෙණිය රෝහල් රථගාලේ දමා යාමට සැකකරුට සිදුවිය.විදේශගත වීමේ දැඩි අපේක්ෂාවෙන් තම පෙම්වතාට රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබා දී, ඔහුගේම ඉල්ලීම මත ඇය කරමින් සිටි රෝහල් රැකියාවෙන් ද ඉල්ලා අස්වී සිටි දර්ශනීගේ ජීවිතය මෙලෙස අකාලයේ නිමාවී යද්දී, ඇගේ පවුලේ සාමාජිකයන් මුළා කිරීමට ද ඝාතකයා උපක්‍රමශීලී වී ඇත. සිරුර පුලුස්සා දමා මෙය සදාකාලික රහසක් ලෙස තබා ගැනීමේ අරමුණින්, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පිහිටි වැඩිමල් සහෝදරයාගේ නිවසේ පදිංචි ඇගේ සහෝදරියකට දුරකථන ඇමතුමක් ලබාදෙන සැකකරු, තමන් දර්ශනී සමඟ කැනඩාව බලා යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටින බව පවසා තිබුණි. දෙදෙනාම රට ගොස් ඇති බව පවුලේ අයට ඒත්තු ගැන්වීමට ඔහු දැඩි උත්සාහයක නිරත වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ ඇගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවයි.
මෙම සාහසික අපරාධය වසන් කිරීමට සහ සැකකරුට මෙන්ම ඔහුගේ අනියම් බිරිඳට සැඟවී සිටීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටර් රියදුරෙකු සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ද ආධාර අනුබල දී ඇති බව හෙළි වීමෙන් පසු ඔවුන් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කුණු එකතු කිරීමට පැමිණි අවස්ථාවලදී ඇති කරගත් මිත්‍රත්වයක් මත ප්‍රාදේශීය සභා රියදුරාට සැකකරු වරින් වර අතදිග හැර මුදල් ලබා දී තිබූ අතර, මෙම රියදුරාව මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේ සිටම හඳුනාගෙන සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, සම්පූර්ණ වාර්තාව ලැබෙන තුරු සැඟවී සිටින ලෙස ඝාතකයාට උපදෙස් දී ඇති බව ද ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පොලිසිය අනාවරණය කරගෙන ඇත.
නුවරඑළියේ සිට පැමිණි සැකකරු මළසිරුර සහිත අඳුරු වීදුරු සහිත මෝටර් රථයේ පසුපස අසුනේ තම අනියම් බිරිඳ සහ දරු තිදෙනා ද වාඩි කරවාගෙන ප්‍රාදේශීය සභා රියදුරාගේ දිගන රජවැල්ලේ පිහිටි නිවසට පැමිණ ඇති අතර, පසුව රථය තෙල්දෙණිය රෝහලේ දමා රියදුරාගේ යතුරුපැදියෙන් නැවත පැමිණ තිබේ. එහි දින දෙකක් සැඟව සිටි ඔවුහු, පසුව රියදුරාගේ මෝටර් රථයෙන් නාරම්මල ප්‍රදේශයට ගොස් වයස අවුරුදු 8ක සහ 5ක දරුවන් දෙදෙනා ඝාතකයාගේ 79 හැවිරිදි වයෝවෘද්ධ මවට භාර දී ඇත. කෙසේ වෙතත්, ඉන් අනතුරුව සැකකරු සහ නාරම්මල හොරම්බාව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 33 හැවිරිදි අනියම් බිරිඳ, කවුරුන් හෝ හඳුනා ගනීවි යන බියෙන් මුහුණු ආවරණ සහ බුර්කා ඇඳුම්වලින් සැරසී, රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් වියදම් කරමින් බස් රථවලින් වැල්ලවත්තේ සිට යාපනය දක්වාත්, නැවත යාපනයේ සිට වැල්ලවත්ත දක්වාත් දහවලුත් රැයත් නොබලා සංචාරය කරමින් පොලිස් ඇසට වැලි ගැසීමට උත්සාහ කර ඇත.
මෙම සැකකටයුතු හැසිරීම පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායම තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ බස් රථය ලුහුබැඳ තිබේ. පසුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ දැනුම්දීම මත ක්‍රියාත්මක වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඇතුළු කණ්ඩායම විසින් යාපනය කයිතඩි ප්‍රදේශයේදී වැල්ලවත්තේ සිට පැමිණි බස් රථය සෝදිසි කර සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ සිටි සිව් හැවිරිදි බිළිඳා ද අත්අඩංගුවට ගන්නා ලදී. පසුව වලාන දූෂණ මර්දන බලකායේ පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු කණ්ඩායම මූලික විමර්ශන සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් නුවරඑළිය මූලස්ථාන පොලිසියට භාර දී ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ තමන් අනියම් බිරිඳ සමඟ වසරකට පෙර විවාහ වූ බව පැවසුවද එහි සහතිකයක් පිළිබඳව තොරතුරු නොදන්නා බවයි. ඔහුගේ පෙර අමානුෂික තාඩන පීඩන හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ දික්කසාද වී ජපානයේ රැකියාවකට ගොස් ඇති අතර, මෙම සාහසික සිදුවීමත් සමඟ අහිංසක අට හැවිරිදි දැරියගේ පාසල් ගමන ද සදහටම නතර වී තිබේ. එසේම, පොලිස් භාරයට ගත් සිව් හැවිරිදි දරුවා භාර ගැනීමට වයෝවෘද්ධ මව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දරුවන්ගේ අනාගතය ද දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇත. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නුවරඑළිය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා සහ සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චමින්ද සංජීව, නිශාන්ත බණ්ඩාර සහ ප්‍රේමලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් පුළුල් විමර්ශන පවත්වති.
කෝටි එකහමාරක මුදලක් සමඟින් ඈ සිතින් මවාගත් සුන්දර කැනඩා සිහිනය, අවසානයේ තෙල්දෙණිය රෝහල් රථගාලක අඳුරු වීදුරු සහිත මෝටර් රථයක් තුළ සැබෑ කරගත නොහැකි බිහිසුණු ඛේදවාචකයක් ලෙස සදහටම නිසල වී ගියේය.