
පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු රුපියල් හයදහසේ සීමාව ද ඉක්මවා යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
වෘත්තිකයන් මත පනවා ඇති අධික බදු බර, සෘජු හා වක්‍ර බදු මෙන්ම පෞද්ගලික රෝහල් සේවාවන් සඳහා අය කෙරෙන බදු ද මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මීට අමතරව ශීඝ්‍රයෙන් ඉහළ ගිය විදුලි බිල, ඉන්ධන මිල සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම ද විශේෂඥ වෛද්‍ය ගාස්තු මෙලෙස කැපී පෙනෙන ලෙස වැඩි වීමට හේතු වී තිබේ.
රජයේ රෝහල්වලින් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අපොහොසත් වීම නිසා පෞද්ගලික රෝහල් වෙත යොමුවන ග්‍රාමීය සහ අර්ධ නාගරික ජනතාව මෙම තත්ත්වය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව සිටින පිරිස වේ. චැනල් ගාස්තුවලට අමතරව පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා, නේවාසික ප්‍රතිකාර ගාස්තු, ඖෂධ, ශල්‍යකර්ම මෙන්ම ශල්‍ය උපකරණ සඳහා අය කරන ගාස්තු ද අධික ලෙස ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම කිසිදු සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් නොමැති සාමාන්‍ය මහජනතාවට මෙම සමස්ත සෞඛ්‍ය වියදම් දරාගැනීම විශාල බරක් වී ඇත.
පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවාවන් නිසි පරිදි නියාමනය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වුවද, වත්මන් තත්ත්වය දෙස බැලීමේදී එම නියාමන ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.