
සමෘද්ධි බැංකු විගණනය කිරීම සඳහා නිශ්චිත රාමුවක් මේ දක්වා සකස් වී නොමැති බව විගණන නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02 වැනිදා පාර්ලිමේන්තුවේදී අදාළ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව, සමෘද්ධි බැංකු සහ සමිති විගණනය කිරීම උදෙසා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී ඇත.ඉදිරි 2025 වර්ෂයට අදාළ විගණන කටයුතු ආරම්භ කිරීමට පෙර 2023 සහ 2024 වසරවල විගණනයන් අවසන් කළ යුතුව ඇති බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. එහෙත් එම විගණන කටයුතු බාහිර පාර්ශ්වයන් වෙත පැවරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ වී නොමැති බවද ඔවුහු ප්‍රකාශ කළහ. මෙම කටයුතු සඳහා නිලධාරීන් 300ක පමණ පිරිසක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබුණද, ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත නිලධාරීන් 200ක් බඳවා ගැනීම ඊට ප්‍රමාණවත් වන බව විගණකාධිපතිවරිය කාරක සභාව හමුවේ පැහැදිලි කළාය.
මීට අමතරව 'රී බිල්ඩින් ශ්‍රී ලංකා' (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත. ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ එය ව්‍යවස්ථාපිත අරමුදලක් නොවන බවත්, එය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින ගිණුමක් පමණක් බවත්ය. එමෙන්ම එම ගිණුම හරහා මේ දක්වා කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවද හෙළිදරව් වූ අතර, එය ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ අතර, ජාතික විගණන කාර්යාලයේ මෙම වසරට අදාළ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයක් විසින් අදාළ කරුණු කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
