
පසළොස් හැවිරිදි පාසල් සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් කල්මුණ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම බරපතළ අපරාධය සිදුකර ඇත්තේ අදාළ දැරියගේ පෙම්වතා බව කියන තරුණයෙකු සහ ඔහුගේ මිතුරෙකු විසිනි.
කල්මුණ මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් මේ වන විට ප්‍රධාන සැකකරු වන විසිහය හැවිරිදි පෙම්වතාව පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, මෙම තරුණයා සිය මිතුරා සමඟ එක්ව දැරියව වෑන් රථයකින් කිසියම් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු පනස් වැනි වියේ පසුවන වෙළෙඳ සහායකයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇත. අදාළ පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබේ.
අගතියට පත් පාසල් සිසුවිය අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පොලිසියේ මැදිහත්වීම මත මේ වන විට රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු කල්මුණ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් තවදුරටත් මෙහෙයවනු ලබයි.
