samanali-and-damayanthi-oppose-the-film-made-by-navaloka-mudalali-on-malani-without-the-familys-permission

ප්‍රවීණ රංගධර, සිනමා නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘රැජිණියේ’ සිනමාපටය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් දැඩි විරෝධයක් එල්ල කරමින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ නිෂ්පාදකවරයකු වන ජයන්ත ධර්මදාස මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටයේ රූගත කිරීම්, පවුලේ සාමාජිකයන්ට කිසිදු දැනුම් දීමකින් තොරව සහ ඔවුන් වෙත ලබාදීමට පොරොන්දු වූ තිරපිටපත පවා ලබා නොදී අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇති බව පවුල වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රවීණ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය සඳහන් කරයි.




මාලිනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වී වසරක් ගතවීමටත් මත්තෙන් ඇගේ ජීවිත කතාව ඇසුරින් මෙවැනි නිර්මාණයක් කිරීමට ජයන්ත ධර්මදාස මහතා ගත් තීරණය පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇත. මාලිනී ෆොන්සේකා මහත්මිය අසනීපව සිටි අවසන් කාලවකවානුවේදී ජයන්ත ධර්මදාස මහතා ඇයට දැක්වූ ආදරය සහ කළ උපකාර පිළිබඳව පවුලේ සාමාජිකයන් ලෙස සදාකාලිකවම කෘතඥ වන බව පවසන සමනලී ෆොන්සේකා මහත්මිය, එහෙත් ඇය පිළිබඳව සිනමාපටයක් නිර්මාණය කිරීම මුළුමනින්ම වෙනමම වෘත්තීයමය කාරණාවක් බව පෙන්වා දෙයි. ඒ සඳහා පවුලේ සාමාජිකයන් නිසි පරිදි දැනුවත් කරමින් විනිවිදභාවයකින් කටයුතු කිරීමට නිර්මාණ කණ්ඩායමට සදාචාරාත්මක වගකීමක් තිබූ බවද ඇය අවධාරණය කරයි.

මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය වන බව තමන්ට මුලින්ම දැනගන්නට ලැබුණේ හිතවතෙකුගෙන් බවත්, ඉන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලන ලෙස තමන් දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන් ඉල්ලා සිටි බවත් සමනලී මහත්මිය පවසයි. ඒ අනුව 2026 පෙබරවාරි 09 වන දින දමයන්ති ෆොන්සේකා මහත්මිය විසින් ජයන්ත ධර්මදාස මහතා හමුවී මේ පිළිබඳව විමසා ඇති අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ චිත්‍රපටය පිළිබඳ කටයුතු තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමක පමණක් බවයි. එමෙන්ම ඉදිරියේදී පවුලේ වැඩිහිටියන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවටද ඔහු පොරොන්දු වී තිබේ. එහිදී නිළි රැජිණගේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින් කටයුතු කළ යුතු බැවින්, ඊට පෙර එහි තිරපිටපත පවුලේ අයට ලබා දිය යුතු බව දමයන්ති මහත්මිය අවධාරණය කර ඇත. පසුව උත්සව අවස්ථාවකදී සමනලී ෆොන්සේකා මහත්මියටද ජයන්ත ධර්මදාස මහතා හමු වූ අවස්ථාවේදී, ඇය පවසා ඇත්තේ මාලිනී ෆොන්සේකා වැනි ප්‍රබල චරිතයක් ගැන සිනමාපටයක් කිරීම හොඳ අදහසක් වුවද, එය ප්‍රමාණවත් කාලයක් ගෙන පර්යේෂණාත්මකව කළ යුත්තක් බවයි.




කෙසේ වෙතත්, පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු නිල සාකච්ඡාවක් නොපවත්වා, 2026 අප්‍රේල් 2 වන දින ‘රැජිණියේ’ චිත්‍රපටයේ නිල ජනගත කිරීම මුහුණුපොත හරහා සිදු කර තිබෙනු දැකීමට පවුලේ අයට සිදුව ඇත. එම අවස්ථාවට හෝ ඒ සම්බන්ධ මූලික සාකච්ඡාවලට පවුලේ කිසිදු වැඩිමහල් සාමාජිකයෙකුට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි. ඉන්පසුව මෙහි පිටපත් රචක සුනෙත් මාලිංග මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තිරපිටපත විස්තර කිරීමට උත්සාහ කර ඇති නමුත්, මෙය දුරකථනයෙන් කතා කර අවසන් කළ නොහැකි බැවින් පවුලේ සැම සමඟ නිල සාකච්ඡාවක් පවත්වන ලෙස සමනලී ෆොන්සේකා මහත්මිය දන්වා ඇතත් ඉන්පසු ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

පසුව දමයන්ති ෆොන්සේකා මහත්මිය විසින් 2026 අප්‍රේල් 15 වන දින යොමු කරන ලද ලියාපදිංචි තැපැල් ලිපියකට ප්‍රතිචාර දක්වමින් මැයි 2 වන දින සුනෙත් මාලිංග මහතා ඇයව හමු වී තිබේ. එහිදීද වාචික පැහැදිලි කිරීම් පිළිගත නොහැකි බැවින් ලිඛිත තිරපිටපත ඉල්ලා සිටි අවස්ථාවේදී, චිත්‍රපටයේ නිෂ්පාදක ජයන්ත ධර්මදාස මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පොරොන්දු වී ඇත්තේ 2026 මැයි මස 20 වන දිනට පෙර සම්පූර්ණ තිරපිටපත පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන බවයි. කෙසේ වෙතත්, එම පොරොන්දු වූ දිනට තිරපිටපත ලැබී නොමැති අතර, ඒ පිළිබඳව විමසමින් දමයන්ති මහත්මිය විසින් මැයි 23 සහ ජූනි 6 යන දිනවල යොමු කළ වට්ස්ඇප් පණිවිඩවලට මෙන්ම ජූනි 23 වන දින යැවූ අවසාන ලියාපදිංචි ලිපියටද චිත්‍රපට කණ්ඩායමෙන් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව පැවසේ.



තමන් ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සහ මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින්, ‘රැජිණියේ’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයෝ පවසති. තම මුළු ජීවිත කාලයම සිනමාව වෙනුවෙන් කැප කළ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ අභාවයෙන් පසු, ඇගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ පිරිස නොසලකා හරිමින්, සුළු පිරිසකගේ පටු උන්නතිය සහ වාණිජ පරමාර්ථ උදෙසා ඇගේ ජීවිත කතාව මෙලෙස අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මයන්ට පටහැනි, අතිශය සදාචාර විරෝධී සහ වංචනික ක්‍රියාවක් බව පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සමනලී ෆොන්සේකා මහත්මිය දැඩි ලෙස හෙළා දකිමින් අවධාරණය කර සිටී.