මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන "මිස්ටර් කොත්තු" ආයතනයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක නැමැති ව්‍යාපාරිකයා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිය ආයතනයේ සේවය කළ සේවකයෙකුට බැන තර්ජනය කරමින් අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සනාථ කරයි.
මහරගම ප්‍රදේශයේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය තුළදී මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ සේවකයාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය. මෙම සිදුවීමෙන් පසුව, ව්‍යාපාරිකයා තමන්ට පහරදුන් බවට පීඩාවට පත් පුද්ගලයා විසින් මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලද නිල පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි. අලෙවිකරණ ඉලක්ක සපුරාලීමට සේවකයින් අපොහොසත් වී ඇති බව පවසමින් විරාජ් වික්‍රමනායකවිසින් එම සේවකයාට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මෙලෙස දරුණු ලෙස පහර දී ඇති බව එම වීඩියෝවෙන් අනාවරණය වේ.
ආයතනය තුළ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක (CCTV) සටහන්ව තිබූ මෙම කම්පන සහගත දර්ශන පෙළ පසුගිය මාසයේ 05 වැනිදා සිදුවූවක් බව හඳුනාගෙන තිබේ. තම සේවකයාට ඉතා අවමන් සහගත සහ අමානුෂික අයුරින් සලකන ආකාරය දැක්වෙන මෙම සිදුවීම ප්‍රසිද්ධ වීමත් සමඟ, බහුතරයක් පාර්ශවයන්ගෙන් ඒ පිළිබඳව දැඩි අප්‍රසාදයක් සහ දැඩි විවේචන එල්ල වෙමින් පැවතුණි. ඇතැමුන් චෝදනා කර තිබුනේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන්නෙකු ලෙස මිස කොත්තු උයා මෙතරම් ආදායමක් ලබාගන්නට ඔහුට හැකියාවක් නොවූ බවයි.
විවේචනාත්මක ප්‍රතිචාර ප්‍රචාරය වීමත් සමග මිස්ටර් කොත්තු සේවකයින් දෙන්නෙකු සමග තවත් වීඩියෝවක් නිකුත් කළද පසුව එය ඉවත්කරගෙන තිබුණි. අනතුරුව වාර්තාවූයේ ඔහු සිය පවුල පිටින්ම අතුරුදන්ව ඇති බවයි. ඔහුගේ දුරකථන අංකද ක්‍රියාත්මක නොවූ බව ඊයේ වාර්තාවී තිබුණි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සැකකාර ව්‍යාපාරිකයා අද (30) උදෑසන නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් විරාජ් වික්‍රමනායක මහතා නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මහරගම පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.