go-to-a-funeral-home-and-find-out-the-difference-between-men-and-women---kagama-thero

කාගම සිරිනන්ද හිමි මෑතක දේශනා කළ බණ කතාවක කොටසක් පහත පරිදිය.




"මම වැඩිපුර කාන්තා පාර්ශවයටයි, හාමුදුරු පාර්ශවයටයි බරව බණ කියන්නේ. පිරිමි ගැන එච්චර මං කියන්න යන්නේ නැහැ අප්පා. ඇයි? පිරිමි ගාව මට දැනෙනවා මේ ගොරෝසු වැරදි අඩුයි කියලා. ගෑණු අය ගාව වැඩියි.

ඒ වගේම නිර්මලව ඉන්න ඕනෑ. රකින්න සිල් ගොඩක් තියෙන පරපුරනේ, භික්ෂු පරපුර. කෝටියක්නේ සංවර සීලය. ඒ හින්දා කැඩෙන්න තියෙන ඉඩ වැඩි හින්දා මං ඒ පැත්තටත් බර කරනවා, මේ පැත්තටත් බර කරනවා. හේතුව ගෙදර බුදුන් — අම්මා. දරුවන් ඇතුළු පවුල නිවනට ගෙනියන්න බුදුහාමුදුරුවෝ නියෝජනය කරන පන්සලේ බුදුන්. ඒ හින්දා මේ දෙන්නා නිවන් අරන් යන්න. මේ කණ්ඩායම් දෙක මහන්සි ගත්තේ නැත්නම්, පෙරගමන්කරුවෝ වුණේ නැත්නම්, වීර්ය කළේ නැත්නම්, පිරිසිදු වුණේ නැත්නම්, පරපුර නිවන් යන්නේ නැහැ, පරපුර අපායට යනවා.




නිකන් මළගෙදරකට ගිහිල්ලා බලන්නකෝ ඇත්තම. පිරිමි ගෑනුයි අතර වෙනස හොයාගන්න. පිරිමියි ගෑනුයි අතර ආධ්‍යාත්මික වශයෙන් තියෙන වෙනස මළගෙදරකට ගියාම පේනවා. පිරිමි විලාප කියන්නේ නැහැනේ. කියන්නේ නැහැ නේද? කියන්නේ නැහැ. නැත්තං උන්ට කට නැහැ. ඊට වඩා විලාප කියයි. හොඳ විලාප. නමුත් කියන්නේ නැහැ. නිහඬව බලාගෙන ඉන්නවා, අවැසි දේ කරනවා.

ගෑණු? පුදුම බොරු ගොඩක්නේ බොල කියන්නේ මළගෙදර ඉවර වෙනකොට. "සැලකුවේ නැහැ, අබ මල් රේණුවක සැලකීමක්" ආධ්‍යාත්මයෙන් බැලුවේ නැහැ. නමුත් පුදුම සැලකීමක් සලකලා තියෙන්නේ. ඒගොල්ලෝ අර කුණු මිනිය දිහා බලාගෙන "ඉතින් කොහොමද ඉන්නේ? මේ දරුවන්ට හෙටින් පස්සේ කවුද? අපි ජීවත් වෙන්නේ කොහොමද? ඔයා අපිව දාලා ගියත්..." මේකිට පාඩුව අර ලොක්කා මැරුණ එක නෙමෙයි. "තනියට ඉන්නේ කවුද? කන්න දෙන්නේ කවුද? හීන් එවුන් බලාගන්නේ කවුද?" ඒ සිද්ධ වෙච්ච පාඩුව ගැන කිය කියා අඬන්නේ.



"මාව මේ උත්තම ගෙදර බුදුන් කියන පදවියට මාව අරගෙන ආපු උත්තමයාණන් වහන්සේ හැටියට ඔබේ එදා දෙපා අල්ලලා, මගුල් ගෙදර දවසේ මං වන්දනා කළා සේම මුළු ජීවිත ගමනේම ඒ වන්දනා කළ යුතු උත්තමයා හැටියට අඩුවක් පාඩුවක් නොවී යශෝධරා කුල පරම්පරාවේ උත්තම බෝසත් කුල කතක් හැටියට මා ඔබ සමග ආවා. ඔබද එසේමද? ඒ නිසා අදින් පස්සේ මේ යන ගමනට ඔබට සසර වසනා තුරු නිවන් දක්නා ජාති දක්වා නරකාදියක් නොවේවා" කියලා දකින්න පුළුවන් ගෑනියෙක් හොයාගෙන ආවා බොලන්, තව හම්බුණේ නැහැ, තව හම්බුණේ නැහැ මේ ජීවන ගමනේ මට. හම්බුණේ ආටෝපිත, සාටෝපිත, අහංකාර, වෛරය, ක්‍රෝධය, මදමාන ගති බොහෝම තියෙන අය.

මං මේ කියපු එක බොරුද? කොහෙවත් ඔයාලා දැකලා තියෙනවද මාමයි බෑණයි අරගලයක්? කැකනදුර. මාමලා බෑණලා අර්බුද නැහැ. ලෝක ඉතිහාසයේ ඉඳලාම තියෙනවානේ මාමයි බෑණයි සාමකාමී. නැන්දයි ලේලියි, නයයි පොළඟයි. OIC මහත්තයා සාක්ෂියි. වැඩිපුර නඩු එව්වා. ඔව්, සලකන්නේ නැහැ, නොසලකා හරිනවා. දේපල ඉඩකඩම් වලට භේද බින්න වෙලා.

නෑයෝ නෑයෝ ගිනිබත් කරලා තියෙන්නේ කවුද? නෑයෝ නොනෑයෝ කළේ කවුද? අර පවුල් වලට ගිනි තිබ්බේ කවුද? හොඳට බලන්න. ඇයි මේ ගෑණු දෙන්නෙක් වෙලා? නැන්දයි ලේලියි මේ. අම්මයි දුවයි වාගේ ඉන්න තියෙන මෛත්‍රියනේ තියෙන්න ඕනේ. පන්සල් ඇවිල්ලා සිල් ගන්නේ ඔබ වැඩියෙන්, දන් දෙන්නේ ඔබ වැඩියෙන්, පින් කරන්නේ ඔබ වැඩියෙන්. හැබැයි පිරිමි එව්වාට එච්චර නැහැ, දුරින් ඉන්නේ. හැබැයි පිරිමියා නිහඬව ඉඳගෙන නිවනට ළං වෙනවා ටිකෙන් ටික. ඔබ දඟලමින් රඟපාමින් අපායට ළං වෙනවා ටිකෙන් ටික. ඒකෙන් අත මිදෙන්න වීර්ය කරන්න."