horana-peoples-bank-assistant-managers-female-association-is-the-root-of-destruction

හොරණ ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවෙන් රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලක් කොල්ලකෑ බවට ව්‍යාජ රංගනයක නිරත වූ එහි සහකාර කළමනාකාරවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන තරුණ කාන්තාවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් විමර්ශන කණ්ඩායම් තීරණය කර ඇත.




54 හැවිරිදි සැකකාර බැංකු නිලධාරියා රහසිගත ලෙස කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී මෙන්ම කාමභෝගී ජීවිතයක් ගතකර ඇති බවත්, ඒ වෙනුවෙන් ඔහු අසීමිත ලෙස මුදල් වියදම් කර ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. තවද, මෙම පුද්ගලයා විශාල වශයෙන් ණය බරින් මිරිකී සිටි අයෙකු බවටද තොරතුරු ලැබී ඇත. ඒ අනුව, මොහු අදාළ තරුණියන් වෙනුවෙන් ද මුදල් වැයකර ඇති බවට ලැබුණු තොරතුරු මත මෙලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්නාහිර උතුර පොලිස් විමර්ශන කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බොහෝ වැදගත් තොරතුරු හිතාමතාම වසන් කරමින් සිටින බවයි.




මෙම සොරකමත් සමග ඔහුගේ පවුල් ජීවිතයද අවුල්ව ගොස් ඇති අතර ඔහු පවුලට හොරෙන් කළ වැඩ නිසා ඉදිරියේදී ගමේ වසන්නට බැරි තත්වයක් උද්ගතව ඇතැයිද වාර්තාවේ.

රඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත්තේ වෑවල ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සහකාර කළමනාකරුවෙකු වන අතර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය විසින් ප්‍රධාන සැකකාර සහකාර කළමනාකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්පෙති කාඩ්පත් කිහිපයක් සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බැංකුවේ ගබඩා කාමරයක රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 17ක මුදලක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. නිවසේ තිබී මත්පෙති හමුවීම හේතුවෙන් සැකකරු කිසියම් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධතාවයක් පවත්වන්නේද යන්න පිළිබඳව ද පොලිසිය විසින් විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

සැකකරුගේ පසුබිම පිළිබඳව සිදුකළ විමර්ශනවලදී ඔහු කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් පොලියට මුදල් ලබාගෙන ඇති බවත්, එම මුදල් යළි ඉල්ලා ඔවුන්ගෙන් දුරකථන හරහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් හෙළි වී ඇත. තවද, ඔහු සම්බාහන මධ්‍යස්ථාන වෙත නිතර ගොස් ඇති බවත්, නිරූපිකාවන් ඇතුළු විවිධ කාන්තාවන් සමග සබඳතා පවත්වමින් අධික ලෙස මුදල් වියදම් කර ඇති අයෙකු බවටත් තොරතුරු පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී.

අධිකරණයේදී ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජන් හපුතන්ත්‍රි මහතා සඳහන් කළේ සොයාගත් මුදල් සිය සේවාදායකයාට අයත් නොවන බවයි. එමෙන්ම, දෙවැනි සැකකරු වන ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල සහ නීතිඥ දුලාංග මිහිරංග යන මහත්වරුන් ප්‍රකාශ කළේ තම සේවාදායකයාට එරෙහිව මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුව රිමාන්ඩ් කිරීම අසාධාරණ බවත්, ඉදිරි නඩු දිනයේදී මේ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, අත්අඩංගුවට ගෙන සිටින සහකාර කළමනාකරු බැංකු පරිශ්‍රයට, ඔහුට පොලියට මුදල් දුන් පානදුර නල්ලූරුව ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට සහ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ නිවාස වෙත ද පරීක්ෂාවන් සඳහා රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සැකකරු මිල්ලනිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත.



මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර සහකාර කළමනාකාරවරයා සහ අදාළ බැංකුවේ ආරක්ෂක නිලධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ආරක්ෂක නිලධාරියා එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කෙසේ වෙතත්, ප්‍රධාන සැකකාර බැංකු නිලධාරියා දින හයක රැඳවුම් නියෝග මත තවදුරටත් රඳවාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය පවසයි.