මහරගම, පතිරගොඩ මාවතේ සැරිසරන වීදි සුනඛයන් ඉලක්ක කර ගනිමින් දැඩි කෲරත්වයෙන් යුතුව පහර දීමේ සිද්ධියකට අදාළව රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සත්ත්ව හිංසා පනත යටතේ අත්අඩංගුවට පත් වූ මෙම සැකකාරිය මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇත.
මෙම අමානුෂික ක්‍රියාව පසුගිය වෙසක් පුර පසළොස්වක පොහොය දින රාත්‍රී කාලයේදී සහ ඊට පසු දින අලුයම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. යතුරුපැදියකින් පැමිණ ඇති මෙම කාන්තාව, මහමග සිටින සුනඛයන්ට පොලු මුගුරුවලින් පන්න පන්නා පහර දී ඇති අතර, එක් සුනඛයකු යතුරුපැදියෙන් යට කිරීමට ද උත්සාහ දරා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, ඊට අදාළ දර්ශන අවට නිවාසවල සවි කර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිවල පැහැදිලිව සටහන් වී ඇත. එලෙස අහිංසක සතුන්ට හිංසා නොකරන ලෙස ප්‍රදේශවාසීන් විසින් අදාළ කාන්තාවට අවවාද කරන ආකාරය ද එම දර්ශනවලට ඇතුළත් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇප මත මුදා හැර ඇති සැකකාර බැංකු නිලධාරිනියට එළඹෙන ජුනි මස 10 වැනි බදාදා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිල වශයෙන් දැනුම් දී තිබේ.
මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ ද සිල්වා මහතාගේ සෘජු උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලිහිනියකුල මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
