හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවන ලද විදෙස් ගමන් තහනම මුල් කරගනිමින් පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහක් සහ කැළඹීමක් නිර්මාණය වී තිබේ. මෙම සංසිද්ධියත් සමඟ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් ද පැතිර යන්නට විය.
මෙම තත්ත්වය හමුවේ හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ. මෙම පෙත්සම මඟින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අභයසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. පනවා ඇති විදෙස් ගමන් තහනම හේතුවෙන් තමන්ගේ පෞද්ගලික නිදහස අහිමි වී ඇති බවත්, එමඟින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් මතුව ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන හිටපු ජනාධිපතිවරයා, මේ දක්වා ඒ පිළිබඳව තමන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති බව ද සඳහන් කරයි. එසේම අදාළ සිදුවීමට අදාළව ප්‍රකාශ ලබාදෙන සාක්ෂිකරුවන් හෝ පොලිස් නිලධාරීන් කිසිවෙකු තමන් හඳුනන්නේ නැති බවත්, චැනල් 4 නාලිකාවේ අසාද් මවුලාන නමැත්තා ද තමන් නොහඳුනන බවත් ඔහු පවසයි. තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුව ශානි අභයසේකර මහතා තමන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් පසුවිය හැකි බව පවසන ඔහු, අදාළ කොමිෂන් සභා වාර්තා අධිකරණයට ඉදිරිපත් කර මේ පිළිබඳ සොයා බලන ලෙසත්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසත් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති නම් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බියවීමට හේතුවක් පවතින්නේද යන්න පිළිබඳව ද සමාජයීය වශයෙන් ප්‍රශ්න මතු වේ. විශේෂයෙන්ම ඔහුට විදෙස් ගමන් තහනම පැනවීමත් සමඟ සුරේෂ් සලේ මහතා ආහාර නොගෙන සිටීමට තීරණය කිරීම සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඔහුව නිදහස් කරන ලෙසත්, රහස්පද ලබා නොදෙන ලෙසත් ඉල්ලමින් ඇති වූ කැළඹීම පිටුපස කිසියම් බරපතළ තත්ත්වයක් පවතින බව පෙනී යයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබුණ ද, දේශපාලන පළිගැනීමක් ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදුවන විමර්ශනයකට හිටපු ජනාධිපතිවරයාව පටලවා ගනු ඇතැයි සිතිය නොහැකි වුවත්, සුරේෂ් සලේ සම්බන්ධ මැදිහත්වීමත් සමඟ යම් තිගැස්මක් නිර්මාණය වී තිබේ.
මේ අතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ද නිවේදනයක් නිකුත් කර ඇත. එම කොමිසමේ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ සලේ මහතා අත්අඩංගුවට ගෙන සතියකට පසුව වෙනත් රැඳවියන් බැලීමට ගිය අවස්ථාවක ඔහුව මුණගැසුණු බවයි. ලිංගික හිංසන සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා ඔහු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව එල්ල වුවද, මානව හිමිකම් කොමිසම හමුවේ ඔහු එවැනි වධහිංසාවක් සිදු වූ බවට එදින ප්‍රකාශ කර නොමැත. ඇතැම් මාධ්‍ය ඔස්සේ ඔහුට දැඩි පීඩනයක් එල්ල වූ බවට අසත්‍ය මතවාද ප්‍රචාරය වුවද, පොදුවේ රැඳවියන්ට පවතින ඉඩකඩ සහ වාතාශ්‍රය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසම පියවර ගෙන තිබේ.
රෝහල්ගතව සිටින සුරේෂ් සලේ මහතාගෙන් මෙන්ම ඔහු අසල සිටින අනෙකුත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට මානව හිමිකම් කොමිසම කටයුතු කරමින් සිටින අතර, එය රටේ සෑම සැකකරුවෙකුගේම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සිදුවිය යුතු සාධනීය පියවරකි. ඔහුට යම් ලිංගික හිංසනයක් හෝ අඩත්තේට්ටමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කර වාර්තාවක් කැඳවීම යුක්තිසහගත වන අතර, මෙම අයිතිවාසිකම අනෙකුත් සියලුම සැකකරුවන්ට ද පොදුවේ හිමිවිය යුතුය. කෙසේ වෙතත්, සුරේෂ් සලේ පිළිබඳ මෙම ගැටලුව වඩාත් උත්සන්න වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පැනවූ විදෙස් ගමන් තහනමත් සමඟ වීම හේතුවෙන් මේ පිළිබඳව ඉදිරියේදී සිදුවන වර්ධනයන් දෙස අවධානයෙන් සිටිය යුතුය.
