ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට දැඩි ආචාර්ය හිඟයකට මුහුණ පා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා පෙන්වා දෙයි. පද්ධතියේ සාර්ථක පැවැත්ම උදෙසා ස්ථිර කථිකාචාර්යවරුන් 12,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් සහ තාවකාලික ආචාර්යවරුන් 4,000 ක් පමණ අවශ්‍ය වුවද, 2023 වසර අවසානය වන විට සේවයේ නිරතව සිට ඇත්තේ ස්ථිර ආචාර්යවරුන් 6,800 කට ආසන්න පිරිසක් පමණි.
මෙලෙස සමස්ත අවශ්‍යතාවයෙන් අඩක පමණ කාර්ය මණ්ඩලයකින් විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම හේතුවෙන් උසස් අධ්‍යාපනයේ මෙන්ම වෘත්තීය පුහුණුවේ ගුණාත්මකභාවය ද බරපතළ අවදානමකට ලක්ව තිබේ.විවිධ පාඨමාලා අනුව පවත්වා ගත යුතු ගුරු-සිසු අනුපාතයන් එකිනෙකට වෙනස් වන අතර කළමනාකරණ අංශ සඳහා සිසුන් 18 කට ද, තොරතුරු තාක්ෂණ අංශ සඳහා සිසුන් 10 කට ද එක් ආචාර්යවරයෙකු බැගින් සිටිය යුතුය. එමෙන්ම දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය වැනි සුවිශේෂී ක්ෂේත්‍රවල සිසුන් පස් දෙනෙකුට එක් කථිකාචාර්යවරයෙකු සිටීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, සෑම මසකම පාහේ ආචාර්යවරුන් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් සේවයෙන් ඉවත්ව යාම හේතුවෙන් මෙම ප්‍රමිතීන් පවත්වා ගැනීමට නොහැකි වී ඇත. පද්ධතියට අලුතින් එක්වන බොහෝ පිරිස් ප්‍රථම පන්තියේ සාමාර්ථ හෝ ශාස්ත්‍රපති උපාධි සහිත පරිවාස මට්ටමේ ආධුනිකයන් වන අතර, ඉවත්ව යන්නේ වසර ගණනාවක පළපුරුද්දක් සහ ඉහළ සුදුසුකම් සපිරූ ජ්‍යෙෂ්ඨයන් වීම මෙම අර්බුදයේ ඇති බරපතළම පාඩුවයි.
මහාචාර්ය වීරතුංග මහතා අවධාරණය කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට ස්ථිර ආචාර්යවරුන් 8,000 ක් වත් අවශ්‍ය වන බවයි. පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය වසරේදී 1,400 ක පමණ පිරිසක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය හිමි වුවද, ඉන් සපුරා ගැනීමට හැකි වී ඇත්තේ සියයට 48 ත් 49 ත් අතර ප්‍රමාණයක් පමණි. ඇතැම් විශ්වවිද්‍යාල සියයට 70 ක පුරප්පාඩු ප්‍රමාණයක් සම්පූර්ණ කරද්දී, තවත් සමහර විශ්වවිද්‍යාලවලට සම්පූර්ණ කරගත හැකි වී ඇත්තේ සියයට 15 ක් වැනි ඉතා අවම ප්‍රතිශතයකි. වෛද්‍ය, විද්‍යා සහ තාක්ෂණික අංශ සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් නොමැතිකම මීට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, සිදු වී ඇති එකම වෙනස නව බඳවා ගැනීම් වෙනුවට දුෂ්කර පළාත්වල විශ්වවිද්‍යාලවල සේවය කළ ආචාර්යවරුන් නාගරික විශ්වවිද්‍යාල වෙත මාරු වී පැමිණීම පමණි.
පහසුකම් අවම වීම, දිරිගැන්වීම් නොමැතිකම මෙන්ම රජයේ බදු ප්‍රතිපත්ති ද කථිකාචාර්යවරුන් මෙලෙස රට හැර යාමට සහ පෞද්ගලික අංශය වෙත යොමු වීමට බලපා තිබේ. ඔවුන්ගේ උපයන ආදායමෙන් සියයට 36 ක් දක්වා ඉහළ බද්දක් අය කෙරෙන අතර, පර්යේෂණ දිරිගැන්වීම සඳහා ලබා දෙන වැටුපෙන් සියයට 20 ක දීමනාවෙන් ද බදු අය කිරීම ඔවුන් දැඩි පීඩාවකට පත් කිරීමට හේතු වී ඇත. මීට අමතරව, අතීතයේදී කථිකාචාර්යවරයෙකු විශ්‍රාම ගිය හෝ අස් වූ සැනින් නවකයින් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල සතුව තිබූ ස්වාධීන බලය, මේ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබීම ද තවත් ගැටලුවකි. මේ හේතුවෙන් අදාළ බඳවා ගැනීම් අනුමැතිය සඳහා මාස ගණනාවක් ගත වන බැවින් පුරප්පාඩු පිරවීම තවදුරටත් ප්‍රමාද වෙයි.
වත්මන් අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවද විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණත්, මෙහි දිගුකාලීන බලපෑම ඉතාම දරුණු විය හැකි බවට බලධාරීන්ට අනතුරු අඟවා ඇත. පිරිනමනු ලබන උපාධිවල, විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ පාඨමාලාවල ගුණාත්මකභාවය මෙයින් බිඳ වැටීම වැළැක්විය නොහැක. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන මෙම පසුබෑම ක්ෂණිකව කැපී නොපෙනුණත්, ඉදිරි වසර කිහිපය තුළ විශ්වවිද්‍යාලවලින් සමාජයට මුදාහරින උපාධිධාරීන්ගේ ප්‍රමිතියෙන් එය මැනවින් පැහැදිලි වනු ඇත. මෙම දීර්ඝකාලීන අර්බුදය හේතුවෙන් ගෝලීය දැනුම සහ නවීන කුසලතා සිසුන්ට දායාද කිරීමේදී ශ්‍රී ලංකාව මේ වන විටත් පසුගාමී තත්ත්වයකට පත්ව ඇති අතර, එය සමස්ත දේශයේම අනාගත සංවර්ධන ගමන්මඟට සෘජු බාධාවක් එල්ල කරයි.
