even-if-the-mace-is-thrown-the-speed-of-hearing-cases-will-not-slow-down---justice-minister-harshana

විපක්ෂය පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැරගෙන ගියද, නැතහොත් එය ගිල දැමුවද වත්මන් අධිකරණ පද්ධතිය තුළ නඩු විභාග කොට තීන්දු ලබාදීමේ වේගය කිසිසේත්ම අඩාල නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඊයේ (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විපක්ෂයේ මෙම කලබලකාරී හැසිරීම් පිටුපස පවතින්නේ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ සැබෑ වුවමනාවක් නොව, තමන්ට එරෙහිව විභාග වන නඩුවලට ඇති දැඩි බිය සහ භීතිය පමණක් බවයි.




පසුගිය වසරවලට සාපේක්ෂව වත්මන් පාලනය යටතේ විමර්ශන කටයුතු මෙන්ම නඩු අසන වේගයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙහි අවසාන ප්‍රතිඵල සහ ලැබීමට නියමිත අධිකරණ තීන්දු මොනවාද යන්න පිළිබඳව මහජනතාව මෙන්ම විපක්ෂයේ සාමාජිකයන්ද හොඳින්ම දන්නා බව ප්‍රකාශ කළේය. වසර ගණනාවක සිට වෙනස් නොවූ අශෝභන දේශපාලන සංස්කෘතියක් තවදුරටත් නියෝජනය කරන විපක්ෂය, පාර්ලිමේන්තුව තුළ විවිධ මඩ අවලාද නගමින් සෙංකෝලය රැගෙන යාමට පවා තැත් කරන්නේ කෙසේ හෝ තමන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග නතර කරගැනීමේ පටු අරමුණින් බවද හෙතෙම සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡාවක් පවතින බව පිළිගත් අමාත්‍යවරයා, ඊට එරෙහිව ඉදිරිපත් වන විකල්ප අදහස් හා කරුණු පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බව පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීම වන්නේ සියලු පාර්ශ්වයන්ගේ මතයන්ට මැනවින් සවන් දී වඩාත් සුදුසුම තීරණයට එළඹීම බැවින් වත්මන් රජය එම ක්‍රියාවලිය නිසි පරිදි ඉටුකරන බව ඔහු තහවුරු කළේය. මහජනතාව විසින් රජයට ලබා දී ඇති ජනවරමට නිරන්තරයෙන් ගරු කරන බව ප්‍රකාශ කළ අමාත්‍ය නානායක්කාර මහතා, විපක්ෂය මනඃකල්පිත ලෝකවල ජීවත් වෙමින් පදනම් විරහිත විකාර ප්‍රකාශ සිදු කරන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත නඩු තීන්දු හමුවේ සැලී සිටින නිසා පමණක් බව පෙන්වා දුන්නේය.