යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨය මගින් සංවිධානය කරන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනයේ දී නිර්මාණයකට අලාභහානි සිදුකළ පුද්ගලයන් වහාම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පීඨ ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පරිපාලනයෙන් නිල වශයෙන් ඉල්ලා සිටියි.
මෙවර වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වූ මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම උදෙසා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දෙමළ සිසුන්ගෙන් සුවිශේෂී සහයෝගයක් මෙන්ම කැපවීමක් ලැබුණු බව පෙන්වා දෙන ශිෂ්‍ය සංගමය, කිහිප දෙනෙකු විසින් එක් වෙසක් කූඩුවකට පමණක් මෙලෙස හානි සිදු කිරීම තම සංගමය දැඩි ලෙස හෙළා දකින බවද අවධාරණය කර සිටියි.
මෙම සිදුවීම පදනම් කරගනිමින් සමස්ත දෙමළ ප්‍රජාවටම චෝදනා එල්ල කිරීම සහ මෙය ජාතිවාදී අර්බුදයක් දක්වා වර්ධනය කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. තවද, මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සඳහා සෘජුවම වගකිව යුතු පිරිස් සෙවීමේ කටයුතු වලදී පරිපාලනයට උපරිම සහාය ලබා දීමටද ශිෂ්‍ය සංගමය එකඟතාවය පළ කර තිබේ.
සුළු පිරිසකගේ මෙවැනි ක්‍රියා කලාපයන් හේතුවෙන් සමාජය තුළ බෙදීම් ඇති කිරීමට හෝ සිසුන් අතර පවතින සහජීවනය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය ගෞරවය පළුදු වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව පීඨ ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැරදි සහගත තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ඔවුන් සමස්ත සිසුන්ගෙන්ම දැඩිව ඉල්ලා සිටියි.
