amit-weerasinghe-of-mahazone-force-admits-to-cabana-scam---pays-rs-10-crore-within-3-months

අභිනව නිවහල් පෙරමුණේ නායකයා යැයි කියාගන්නා අමිත් වීරසිංහ නැමැත්තා කබානා ඉදි කිරීමේ ව්‍යාපෘතියක් මුවාවෙන් රුපියල් කෝටි 10ක පමණ මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදුන් පිරිස විසින් සිදු කරන ලද පැමිණිලි මත පදනම්ව සිදු කළ පොලිස් විමර්ශනවලදී මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව අනාවරණය වී තිබේ.




මෙම ව්‍යාජ කබානා ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ පුද්ගලයින් දහඅට දෙනෙකු පමණ මේ වන විටත් පොලිසිය වෙත සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු පෙරේදා (02) දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, සිය නීතිඥයින් මාර්ගයෙන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල් මාස තුනක කාලයක් ඇතුළත පැමිණිලිකරුවන්ට නැවත ලබා දීමට තමන් එකඟතාවය පළ කරන බවයි.

එහිදී සැකකාර අමිත් වීරසිංහ වෙත විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය පියවර ගෙන ඇති අතර, සෑම ඉරිදා දිනකම පෙරවරු 10.00ත් දහවල් 12.00ත් අතර කාලය තුළ තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසටද ඔහුට නියෝග කර තිබේ. මෙම නඩුව ලබන අගෝස්තු මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.




මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.