රංගල ප්‍රදේශයේදී සිය අනියම් බිරිය ඝාතනය කර මළසිරුර මඩ වගුරක සඟවා ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරුවෙකු ඊයේ (03) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිස් හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා දින කිහිපයක් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිට, යළිත් සිය නිවසට පැමිණ ගෙවත්තේ සිටියදී මෙලෙස රංගල පොලීසියේ නිලධාරීන්ගේ භාරයට පත්ව ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙන් කිසියම් නාඳුනන ගඳක් වහනය වී ඇති අතර, ඔහු වස පානය කර ඇත්දැයි යන සැකය මත පොලීසිය විසින් වහාම ඔහුව ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
මෙම ඝාතනය අනාවරණය වී ඇත්තේ අදාළ තරුණිය අතුරුදන්ව ඇති බවට සැකකරු විසින්ම පොලීසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. එම පැමිණිල්ලේ ස්වභාවය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පොලීසිය විසින් සැකකරුගේ මවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, එහිදී සැකකරු විසින් තරුණියට පහරදී ඝාතනය කර නිවස ආසන්නයේ ඇති වගුරු බිමක වළදමා ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ රංගල පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන අදාළ වගුරු බිම කැනීම් වලට ලක්කර ඇත. එහිදී අඩි තුනක් පමණ ගැඹුරට හෑරූ වළක තිබී ඝාතනයට ලක්වූ තරුණියගේ මළසිරුර සොයාගැනීමට පොලීසියට හැකිවිය. මෙලෙස මියගොස් ඇත්තේ ඇඟලුම් කම්හලක සේවය කළ 22 හැවිරිදි වාසනා සඳමාලි වීරසේකර නමැති තරුණියකි.
මහේස්ත්‍රාත් කමල් එස්. ජයතිලක මහතාගේ නියෝගය පරිදි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇයගේ දේහය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ. පොලිස් පරීක්ෂණ වලින් තවදුරටත් හෙළිවී ඇත්තේ විවාහකයෙකු වන මෙම සැකකරු සිය නීත්‍යානුකූල බිරිය අතහැර දමා වසර හතරක පමණ කාලයක සිට මියගිය තරුණිය සමග එක්ව ජීවත්වී ඇති බවයි.
