cure-found-to-delay-acute-diabetes-for-3-years

පළමු වන වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes) වැළඳීම වසර තුනක් දක්වා ප්‍රමාද කළ හැකි ලොව පළමු වැනි නවතම ප්‍රතිකාරය බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් මේ වන විට අනුමත කර තිබේ. 'ටෙප්ලිසුමැබ්' (Teplizumab) ලෙස හැඳින්වෙන මෙම ඖෂධය බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය හා සත්කාර විශිෂ්ටතා ආයතනයේ (NICE) අනුමැතිය ලබා ඇති අතර, මෙය දියවැඩියා ප්‍රතිකාර ඉතිහාසයේ නව යුගයක ආරම්භයක් ලෙස එක්සත් රාජධානියේ දියවැඩියා සංගමය විසින් හඳුන්වා දී ඇත.

සනොෆි (Sanofi) සමාගම විසින් Tzield යන වෙළඳ නාමය යටතේ නිපදවා ඇති මෙම ඖෂධය, රෝග ලක්ෂණ මතු වීමට පෙර මුල් අවදියේ පසුවන වයස අවුරුදු අට සහ ඊට වැඩි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ලබා දීමට හැකියාව පවතී. එක්සත් රාජධානිය තුළ පුද්ගලයින් 400,000ක් පමණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කරන මෙම පළමු වන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වේ.

දින 14ක් පුරා දිනකට වරක් මිනිත්තු 30ක පමණ කාලයක් ශිරා හරහා ලබාදෙන මෙම එකවරක් පමණක් සිදුකරන ප්‍රතිකාරය මගින් රෝගීන්ට දියවැඩියාව පාලනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අමතර කාලයක් හිමිවනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. පළමු වසර තුළ රෝගීන් 1,100කට පමණ මෙම ප්‍රතිකාරය ලබාදීමට සුදුසුකම් ලැබෙනු ඇතැයි ආයතනය ඇස්තමේන්තු කර තිබේ.(BBC ඇසුරිනි)

cure-found-to-delay-acute-diabetes-for-3-years