ඇස් ඉදිරිපිට පාවෙන තිත් හෝ ද්‍රව්‍ය වැනි දසුන් මැවීම සාමාන්‍ය වයස්ගත වීමත් සමඟ සිදුවන දෙයක් ලෙස බොහෝ දෙනා සැලකුවද, ඇතැම් අවස්ථාවලදී මෙය බරපතල දෘෂ්ටි ආබාධයක පෙර නිමිත්තක් විය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි. ලන්ඩන් නුවර පදිංචි ලුසී ස්කූන්හෝවන් නම් කාන්තාවට ද මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ අතර, ඇයගේ එදිනෙදා ජීවිතයට සහ වෘත්තීය කටයුතුවලට ද මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.
මුලදී සුළු තිත් කිහිපයක් ලෙස පෙනුනද, පසුව එය ඇයගේ දර්ශන පථය පුරාම පැතිරී යමින් මකුළු දැලක් මෙන් පෙනෙන්නට පටන් ගත්තේය.ඇසේ ඇතුළත ඇති ජෙලි වැනි ද්‍රව්‍යය වයස්ගත වීමත් සමඟ දියර බවට පත්වී එහි ඇති කොලජන් තන්තු එකිනෙක ගැටී කුඩා ගැටිති සාදයි. මෙම ගැටිති දෘෂ්ටි විතානය මත සෙවණැලි ලෙස වැටෙන විට ඇස් ඉදිරිපිට කුඩා තිත් හෝ නූල් වැනි දේ පාවෙන බව අපට දැනේ. බොහෝ අවස්ථාවලදී මෙය සාමාන්‍ය තත්ත්වයක් වුවද, හදිසියේම මෙම තත්ත්වය වැඩි වීම, ඇස් ඉදිරිපිට විදුලි සැරක් වැනි ආලෝකයන් දැකීම හෝ දෘෂ්ටි පථයේ පැතිවල අඳුරු බවක් දැනීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙය දෘෂ්ටි විතානයේ ඉරීමක් හෝ ගැලවී යාමක් වැනි හදිසි තත්ත්වයක පෙර නිමිත්තක් විය හැකි බැවිනි.
පාරම්පරිකව හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට මෙම අවදානම වැඩි විය හැකිය. විශේෂයෙන් කෙටි දුර නොපෙනෙන (nearsighted) පුද්ගලයන්ගේ ඇසේ ව්‍යුහය වෙනස් බැවින් ඔවුන්ට මෙම ගැටලුව ඉක්මනින් ඇති විය හැකි බව වෛද්‍යවරු පවසති. මෙම රෝගීන් සඳහා ඔප්ටිකල් කොහෙරන්ස් ටොමොග්‍රැෆි (OCT) ස්කෑන් පරීක්ෂණයක් හරහා ඇසේ තත්ත්වය නිවැරදිව හඳුනා ගත හැකි අතර, තත්ත්වය බරපතල නම් 'විට්‍රෙක්ටමි' (vitrectomy) නමැති ශල්‍යකර්මය මගින් ඇසේ ඇති එම ද්‍රව්‍යය ඉවත් කර දර්ශනය යථා තත්ත්වයට පත් කර ගත හැකිය.
ශල්‍යකර්මය සිදු කිරීමේදී ඇසේ ඇති ජෙලි වැනි ද්‍රව්‍යයේ විශාල ප්‍රමාණයක් ඉවත් කර ඒ වෙනුවට පැහැදිලි ද්‍රවයක් ආදේශ කරනු ලැබේ. කෙසේ වුවද, ලුසීට සිදු කළ මෙම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වූ අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇයට පසුකාලීනව ඇසේ සුද මතුවීමේ අවදානමක් ද ඇති විය. ඇස් ඉදිරිපිට පාවෙන තිත් නිසා මානසික පීඩාවට පත් වන බොහෝ දෙනෙකුට මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු නොකර ජීවත් වීමට පුරුදු වන ලෙස උපදෙස් දුන්නද, තත්ත්වය දරාගත නොහැකි මට්ටමක පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසුය.
(BBC ඇසුරිනි)