වසරකට අධික කාලයක් පුරාවට අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය නව සමාගමක මැදිහත්වීම යටතේ යළිත් ආරම්භ කර තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේදී මෙම කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් මෝටර් වාහන පරීක්ෂා කිරීමේ සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදීය.
පසුගිය වසර විසිදෙකක කාලයක් තිස්සේ එක්තරා පෞද්ගලික සමාගමක් විසින් සිදුකරගෙන ආ මෙම අංක තහඩු මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අවසන් වීමත් සමඟ අදාළ කටයුතු තාවකාලිකව ඇණහිට තිබුණි. ඉන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරමින් ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ (South Asian Technology) නමැති සමාගම වෙත මෙම මුද්‍රණ කාර්යය පවරා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන මේ වන විට යළි පණගන්වා තිබේ.
මෙතෙක් කල් ගොඩගැසී තිබූ විශාල අංක තහඩු ප්‍රමාණය මෙන්ම අලුතින් ලියාපදිංචි කරනු ලබන සියලුම වාහන සඳහා දිනපතා අංක තහඩු මුද්‍රණය කර නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙම නව ක්‍රමවේදයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ යම් වාහනයක අංක තහඩුව මුද්‍රණය කර අවසන් වී පැය දෙකක් ඇතුළත ඒ බව කෙටි පණිවිඩයක් (SMS) හරහා අදාළ වාහන හිමිකරුට ක්ෂණිකව දැනුම් දීමයි. මේ යටතේ යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ ඇතුළු අනෙකුත් සියලුම වාහන කාණ්ඩ සඳහා අංක තහඩු ලබාදීමේ ක්‍රියාවලිය අද සිට වේගවත් කර ඇත.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, පරිපාලන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක සහ රියැදුරු බලපත්‍ර කොමසාරිස් තනූජා ආරියරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. ඊට අමතරව ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
