හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ දූෂණ නඩු හතරක් සඳහා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් අද (09) බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ලබාදුන් මෙම තීන්දුවට අනුව, අදාළ නඩු හතර සඳහා වසර 72ක සිරදඬුවමක් නියම වී ඇති අතර, එය වසර 16කින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක වනු ඇත.
මීට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ගෙවන ලෙසද අධිකරණය විසින් විත්තිකරුට නියෝග කර ඇති අතර, මාධ්‍යවේදීන් වෙතද අධිකරණය මගින් මෙම තීන්දුව පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.මෙම දඬුවම නියම වී ඇත්තේ 2006 වර්ෂයේදී ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙනි. එහිදී කුලී පදනම මත ආයතනයට වාහන තුනක් ලබාගැනීමේ ක්‍රියාවලියේදී වාහන හිමිකරුවන්ට අයුතු සහනයක් සැලසෙන පරිදි කටයුතු කර රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීම යන චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩු ගොනු කර තිබුණි. තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ, රාජ්‍ය ආයතන තුළ සිදුවන මෙවැනි දූෂණ සහ වංචා රටේ ආර්ථිකය බිඳවැටීමට මෙන්ම රට බංකොලොත් වීමටද සෘජුවම බලපා ඇති බවයි. පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තහවුරු වීමෙන් අනතුරුව, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව සිරමැදිරිය වෙත රැගෙන යන ලදී.
මේ අතර, හොරණ මහජන බැංකු ශාඛාවෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. වයස අවුරුදු 54ක් වන නන්දන සරත් කුමාර නමැති මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
එබැවින් ඉදිරියේදී පොදු දේපළ පනත යටතේ මොහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. ඉදිරිපත් වූ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු එළඹෙන 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය විසින් නියෝග කර ඇත.
