allowance-for-the-third-child-to-solve-bhutans-population-decline

භූතානයේ ජනගහනය පහළ යාම පාලනය කිරීමේ අරමුණින් තෙවන දරුවා සහ ඉන් පසුව උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම මුල්‍ය දීමනාවක් ලබා දීමට එරට රජය පියවර ගෙන තිබේ. හිමාල කඳුකරයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන භූතානය මෙම තීරණයට එළඹ ඇත්තේ එරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ යාම සහ ජනගහනය වයස්ගත වීම වැනි ගැටලු හේතුවෙනවා.




මෙම නව ප්‍රතිපත්තිය යටතේ ජුනි 04 වන දින හෝ ඉන් පසුව උපදින තෙවන දරුවා සහ ඉන් පසුව උපදින දරුවන් සඳහා වයස අවුරුදු තුන සම්පූර්ණ වන තෙක් මාසිකව භූතාන නගුල්ට්‍රම් 10,000ක (ඇමරිකානු ඩොලර් 105කට ආසන්න) මුදලක් පවුල් වෙත පිරිනැමෙනු ඇත. ජුනි 04 වන විට වයස අවුරුදු තුනට අඩු, මීට පෙර උපන් තෙවන හෝ ඊට වැඩි දරුවන් සිටින පවුල් සඳහාද මෙම දීමනාව හිමිවන බව රජය නිවේදනය කර තිබේ.

භූතානයේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2015 වසරේදී 11,001ක් ලෙස පැවතියද, 2024 වසර වන විට එය 8,153 දක්වා 26%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත. කාන්තාවකගෙන් බිහිවන දරුවන්ගේ අනුපාතයද ආදේශන මට්ටමට ආසන්න ලෙස 2.1 දක්වා පහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.




රටේ ශ්‍රම බලකායට සහ සමාජ ආර්ථික සංවර්ධනයට මෙම ජනගහන හායනය සහ වයස්ගත වීම බරපතල අභියෝගයක් බව රජය අවධාරණය කරයි. විශේෂයෙන්ම තරුණ පරපුර විදේශ රැකියා අවස්ථා සොයා රට හැර යාම ද මෙයට බලපා ඇති අතර, දරුවන්ගේ සහ පවුල්වල සුභසාධනය වෙනුවෙන් රජයේ කැපවීම මෙන්ම රටේ ජනගහන ස්ථාවරත්වය තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.