
රුපියල් කෝටි 8කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. විනිසුරුවන් වන අමල් රණරාජා සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම අවසරය ලබා දෙන ලදී.
වසර තුනක කාලයක් තුළ රත්මලාන සහ දෙහිවල ප්‍රදේශවලින් ඉඩම් ඇතුළු දේපළ මිලදී ගනිමින් අදාළ මුදල් විශුද්ධිකරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම නඩුවේ සම-විත්තිකාරිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය මහාධිකරණය විසින් නිදහස් කර ඇති පසුබිමක, තම සේවාදායකයාට එරෙහිව පමණක් ‘කුමන්ත්‍රණය කිරීම’ යන චෝදනාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි. විත්තිකාරිය නිදහස් කර තිබියදී එක් අයෙකුට පමණක් කුමන්ත්‍රණ චෝදනා එල්ල කිරීම නීතියට පටහැනි බැවින්, නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් නිදහස් කරනු ලැබුවේ පමණක්ම වෛද්‍ය හේතූන් මත බවයි. නඩු විභාගයකට මුහුණ දීම සඳහා ඇයට නිසි මානසික යෝග්‍යතාවක් නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති අතර, එම තාක්ෂණික කරුණ මත ඇයව මුදාහැරීම පළමු විත්තිකරුට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට කිසිදු නෛතික බාධාවක් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
අදාළ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, මෙම ප්‍රතිශෝධන පෙත්සම් විභාගය ජුනි මස 16 වැනිදා පැවැත්වීමට නියම කළේය. ඊට අදාළව නීතිපතිවරයාට යම් විරෝධතාවක් ඇත්නම් එය ජුනි 08 වැනිදාට පෙරද, ඊට එරෙහිව පෙත්සම්කාර පාර්ශ්වයේ ප්‍රති විරෝධතා ඇත්නම් ඒවා ජුනි 11 වැනිදාට පෙරද ගොනු කරන ලෙස අධිකරණය විසින් දෙපාර්ශ්වයටම වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.
