
මෙරට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන මැතිවරණ කොට්ඨාසය බවට මේ වන විට බියගම පත්ව ඇති අතර, එම ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි බියගම ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේ ගතවූ මාස පහක කාලය ඇතුළත පමණක් බියගම කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් 1057 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය සතියේ දී පමණක් රෝගීන් 133ක් වාර්තා වී ඇති අතර, පමුණුවිල ප්‍රදේශයෙන් එක් ඩෙංගු මරණයක් ද සිදුවී ඇත. ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පෙන්වා දෙන පරිදි, බියගම, නැඟෙනහිර සහ බටහිර වල්ගම, මල්වාන, උලහිටිවල, ගෝනවල, නැඟෙනහිර සහ බටහිර හෙයියන්තුඩුව, මාකොළ දකුණ මෙන්ම පහළ යටිහේන යන ග්‍රාම නිලධාරි වසම්වලින් මෙම රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ වන විටත් ඩෙංගු ආසාදිතයන් විශාල පිරිසක් ගම්පහ සහ රාගම ප්‍රදේශවල පිහිටි රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගනිමින් සිටිති. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ හෙයියන්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක මේනක ජයසිංහ යන මහත්වරුන්ට ද ඩෙංගු රෝගය වැලඳී ඇති අතර, ඔවුහු මුල්ලේරියාව උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බියගම ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ධූමායනය කිරීම්, ට්‍රැක්ටර් රථ මගින් කසළ ඉවත් කිරීම්, නිවාස සහ ගෙවතු පරීක්ෂා කිරීම් මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් සිදු කළ ද, ප්‍රදේශවාසීන්ගේ නිසි සහායක් නොමැතිව මෙම අවදානම් සහගත තත්ත්වයෙන් මිදීමට නොහැකි බව සමන්ත පෙරේරා මහතා අවධාරණය කරයි. ඒ සඳහා ප්‍රදේශයේ විවිධ සමිති සමාගම් සහ ස්වේච්ඡා සංවිධාන ඇතුළු සමස්ත ජනතාවගේම මූලිකත්වය අත්‍යවශ්‍ය වී තිබේ.
යම් පුද්ගලයෙකුට උණ රෝගය වැලඳී දින කිහිපයක් පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගත යුතු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. යම් හෙයකින් ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු වුවහොත්, වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ. එසේම, රෝගියා නිවසේ රැඳී සිටින කාලසීමාව තුළ මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්ෂා වී සිටීම මගින් නිවසේ අනෙකුත් සාමාජිකයන්ට රෝගය බෝවීම වළක්වා ගත හැකි බව ද ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
