දැනට මෙරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර මුළුමනින්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට මත්ද්‍රව්‍ය උවදුර සහ විවිධ අපරාධ මැඬපැවැත්වීම ඉලක්ක කරගත් නව පනතක් සම්මත කිරීමට නියමිතය.
"සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත" ලෙස නම් කර ඇති මෙම නව පනත් කෙටුම්පතේ මූලික කටයුතු මේ වන විටත් සකස් කර අවසන්ව ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.පසුගිය සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සහභාගී වී ඇත. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ රට පීඩාවට පත් කළ ත්‍රස්තවාදය නිමා වුවද, වර්තමානයේ රට සංවිධානාත්මක අපරාධ හේතුවෙන් බැටකමින් සිටින බවයි. මෙරට මුදල් නීතිවිරෝධී ලෙස විදේශගත කරන ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, ඒ සඳහා දැනට පවතින සාමාන්‍ය නීති රීතිවල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් මෙම නව පනත ගෙන එන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවිධ අර්ථකථන ඔස්සේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පුළුල් ඉඩකඩක් පැවතියද, නව නීති පද්ධතිය මඟින් එවැනි අභිමතය පරිදි සිදු කරන අත්අඩංගුවට ගැනීම් සීමා කෙරෙනු ඇත. මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නොවන අයුරින්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව පමණක් වෙන්වූ නිශ්චිත පරාසයකට යටත්ව මෙම නව පනත ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
එවකට උතුරු පළාතේ පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් 1978 වසරේදී තාවකාලික පියවරක් ලෙස මුලින්ම පැනවුණු මෙම නීතිය, පසුව 1982 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් ස්ථිර නීතියක් බවට පත් කෙරිණි. වසර පනහකට ආසන්න කාලයක් පුරා බලාත්මකව පැවති මෙම පනත මඟින් පාලකයන් විසින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම දේශීය බහුජන සංවිධාන ද දිගින් දිගටම විවිධ ආණ්ඩුවලට විවේචන එල්ල කර තිබේ.