allegations-about-modification-of-ditwa-compensation-circular

දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ දේශීය ව්‍යාපාරිකයන් සඳහා වන්දි ලබාදීමට අදාළව නිකුත් කෙරුණු චක්‍රලේඛයක් එදිනම බලරහිත කරමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ. රජයේ මෙම ක්‍රියාකලාපය මඟින් ඔවුන්ගේ පවතින අකාර්යක්ෂමතාව සහ නොහැකියාව මැනවින් පෙන්නුම් කරන බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානය චෝදනා කරයි.




මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, 2026 ජුනි මස 03 වැනිදා වන්දි පිරිනැමීම සඳහා නිර්දේශ කරමින් චක්‍රලේඛයක් නිකුත් කළ ද, එදිනම වෙනත් චක්‍රලේඛයක් මඟින් එය අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි. පාලකයන් අනුගමනය කරන මෙවැනි ද්විත්ව ප්‍රතිපත්ති හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින දේශීය ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් දැඩි අපහසුතාවයට පත්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයන් අතිශය අසරණ වී ඇති බව පවසන ලේකම්වරයා, මෙලෙස වගකීම් විරහිත ලෙස චක්‍රලේඛ නිකුත් කරන නිලධාරීන් පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න කර සිටියි. විශේෂයෙන්ම රජයේ නිල ආයතනයක් වන සමාගම් මැදුරේ නිසි පරිදි ලියාපදිංචි කර ඇති ව්‍යාපාරික ආයතන සඳහා වන්දි මුදල් ගෙවීම පැහැර හැරීමට බලධාරීන් කටයුතු කරන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ද ඔහු දැඩි ලෙස ප්‍රශ්න කළේය.




උදෑසන කාලයේදී නිකුත් කරනු ලබන රාජ්‍ය තීරණ සවස් කාලය වන විට වෙනස් කරමින් රජය ගන්නා මෙවැනි අත්තනෝමතික තීන්දු හේතුවෙන් විපතට පත් ජනතාව තවදුරටත් අගාධයට ඇද වැටෙන බව එම සංවිධානය අවධාරණය කරයි. එබැවින් දිට්ඨා සුළි කුණාටුවෙන් විනාශයට පත් දේශීය ව්‍යාපාර සඳහා වහාම වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර, මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන බව ද ලේකම්වරයා පැවසීය. ඒ සඳහා නිල දිනයක් සහ වේලාවක් වෙන්කර දෙන තෙක් ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටීමට වුව ද ව්‍යවසායකයන් සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.