අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේ පිහිටි සිය නීත්‍යානුකූල බිරිඳට අයත් නිවසක් තුළදී තමන් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇය සතුව තිබූ රන් මාලයක් කොල්ලකෑ බව කියන සැකකරුවකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව පසුගිය දහහත්වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් රත්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ පසුබිමක, ඇයගේ නරක් වූ මළ සිරුර පසුගිය විසිහය වැනිදා අදාළ යටිහලගල ප්‍රදේශයේ නිවසේ ඇඳක් යට තිබී සොයාගැනීමට පොලිසියට හැකි විය. එම නිවසේ හිමිකාරිය වන සැකකරුගේ බිරිඳ මේ වන විට සිය සැමියාගෙන් වෙන්ව මැණික්හින්න ප්‍රදේශයේ ජීවත් වන අතර, ඇය සිය නිවස බැලීම සඳහා තවත් කාන්තාවක් ද සමඟ පැමිණි අවස්ථාවේදී නිවසින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් හේතුවෙන් කළ සෝදිසියකදී මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත.
නිවසේ ඉදිරිපස දොර ඇතුළතින් වසා තිබී ඇති අතර, පසුපස දොරේ ඉබ්බා කඩා දමා එයට කම්බි ඇණයක් ගසා තිබෙනු නිවසේ හිමිකාරිය විසින් නිරීක්ෂණය කර තිබේ. අලදෙණිය පොලිසිය විසින් මහනුවර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, නිල සුනඛ අංශය සහ ඇඟිලි සලකුණු අංශය ද කැඳවා එම ස්ථානයේ සිදු කළ පුළුල් විමර්ශනයේදී කාන්තා පාවහන් යුවළක්, අත්බෑගයක් මෙන්ම දුරකථන අංක කිහිපයක් සටහන් කළ කඩදාසි කිහිපයක් ද සොයාගෙන ඇති අතර, එම තොරතුරු ඔස්සේ මියගිය කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබේ.
මාතලේ මූලස්ථාන පොලිසියේ ද සහාය ඇතිව අදාළ සැකකරු මාතලේ ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර, එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ පසුගිය දහහත්වැනිදා මියගිය කාන්තාව ද සමඟ තමන් මෙම නිවසට පැමිණි බවයි. එහිදී ඔවුන් දෙදෙනා අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව තමන් ඇයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ බවත්, ඉන්පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය රැගෙන ගිය බවත් සැකකරු විසින් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
සැකකරු විසින් කොල්ලකන ලද රන් මාලය මාතලේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර, ඝාතනයට ලක්වූ කාන්තාව භාවිතා කළ බව කියන ජංගම දුරකථනය ද අපරාධය සිදු වූ නිවසට ආසන්න කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
මෙසේ අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇල්වත්ත, පිටකන්ද වතුයායේ පදිංචිව සිටි වේලුකාලිඅම්මා නමැති හැට හැවිරිදි කාන්තාවකි.
මහනුවර ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඒ සඳහා විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මළ සිරුර පවුලේ ඥාතීන් වෙත භාර දීමට කටයුතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත අලදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
