117-dansals-that-caused-indigestion-were-raided

මෙවර වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කර තිබූ දන්සල් අතුරින් දන්සල් 117 ක සුළු අඩුපාඩු පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මෙවර වෙසක් උත්සව සමය වෙනුවෙන් සමස්තයක් ලෙස දන්සල් 12,423ක් ලියාපදිංචි වී තිබූ බවයි.




ලියාපදිංචි කරන ලද මෙම සියලුම දන්සල් නිරීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න නිලධාරීන් පිරිසක් දිවයින පුරා සේවයේ යොදවා තිබුණි. එහිදී යම් යම් අඩුපාඩුකම් හඳුනාගත් දන්සල්වල සංවිධායක මණ්ඩල වෙත අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට පියවර ගත් බවත්, එම අඩුපාඩු සකසා ගැනීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ඒවා නැවත පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දුන් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය. මෙම අපිරිසිඳු ආහාර නිසා බඩේ අජීර්ණ වාර්තාවී ඇති බවද සඳහන් කර තිබේ.

දන්සල්වලට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පූජනීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය ජංගම රසකැවිලි අලෙවිසැල්, ආපනශාලා, හෝටල් මෙන්ම පානීය වර්ග අලෙවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වරින් වර දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.




වෙසක් සති කාලසීමාව නිමාවන තෙක්ම සියලුම ආකාරයේ ආහාර පාන සහ රසකැවිලි අලෙවිසැල් මෙන්ම දන්සල්ද අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇත. විවිධ බෝවන රෝග පැතිර යාමේ අවදානම පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයට හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.