because-of-rolls-royce-gl-a-heated-exchange-between-peiris-and-the-legendary-dudley-sirisena

ඉකුත් දා පැවැති ඉතාලි ජාතික දින සැමරුම් උත්සවයක් අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.

ඉතාලි තානාපති කාර්යාලය විසින් පසුගිය 02 වැනිදා සංවිධානය කර තිබූ මෙම උත්සවයට මෙම දෙපාර්ශවයම සහභාගී වී සිටි අතර, එහිදී ඇති වූ සංවාදයක් දුරදිග යාමෙන් මෙම තත්ත්වය හටගෙන ඇත. වාර්තා වන ආකාරයට මෙම ගැටුම දුරදිග ගොස් ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට එහි සිටි අනෙකුත් අමුත්තන්ටද මැදිහත් වීමට සිදුවී තිබේ.




මෙම උණුසුම් තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයකි. රටේ බදු බර ඉහළ යාමට සහ ඩොලරයේ මිල වැඩි වීමට ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෙරටට ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මෝටර් රථයද එක් හේතුවක් වී ඇති බවට මහාචාර්යවරයා චෝදනා කර තිබිණි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා, උත්සව සභාවේදීම මහාචාර්යවරයාගෙන් ඒ පිළිබඳව විමසීමත් සමඟ මෙම වාග් ප්‍රහාරය ආරම්භ වී ඇත.

එහිදී දැඩි ආවේගයකින් යුතුව අදහස් දක්වා ඇති ඩඩ්ලි සිරිසේන මහතා, තම මෝටර් රථය කිසිදු අයථා ගනුදෙනුවකින්, කොමිස් මුදල්වලින් හෝ තීරුබදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූවක් නොවන බව අවධාරණය කර තිබේ. දිවා රෑ නොබලා තම ව්‍යාපාරික කටයුතු හරහා දුක් මහන්සියෙන් උපයාගත් මුදලින්, රජයට ගෙවිය යුතු සියලුම බදු මුදල් නීත්‍යානුකූලව ගෙවා හරි පාරෙන් අදාළ රථය ආනයනය කළ බව ඔහු පවසා ඇත.




එසේම, කුඩා කල සිටම රෝල්ස් රොයිස් රථවලින් පාසල් ගිය සහ කෑම ගෙන ඒමට පවා එම රථ භාවිතා කළ මහාචාර්යවරයා ඇතුළු පිරිසට පමණක් එවැනි වාහන පරිහරණය කිරීමට අයිතියක් ඇත්දැයි ඔහු එහිදී ප්‍රශ්න කර තිබේ. දුප්පත් පවුලකින් පැමිණි තමන් වැනි අයෙකු දැඩි කැපවීමෙන් දියුණුවට පත්ව මෙවැනි රථයක් මිලදී ගත් විට එය දැකීමට නොහැකි තරම් ඊර්ෂ්‍යාවක් සහ අමාරුවක් ඇතැමුන්ට ඇති වී තිබෙන බවද සිරිසේන මහතා මහත් ශබ්ද නඟමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.