another-104-metro-buses-to-sri-lanka---gamunu-kee

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව 'FOTON Metro' වර්ගයේ නව බස් රථ 104 කින් සමන්විත රථ සමූහයක් මෙරටට ලැබී තිබේ. මෙම බස් රථ නිල වශයෙන් භාරදීම සනිටුහන් කරමින් චීනයේ බීජිං නුවර පිහිටි ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්තශාලාවේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) ආයතනයේ නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇත.

මෙම බස් රථ තොගය මෙරටට ලැබීම දේශීය පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව පෙන්වා දෙන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය, මගී ජනතාවගේ ගමන් අත්දැකීම් ඉහළ නැංවීම වෙනුවෙන් සියලුම පාර්ශවකරුවන් සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පවසයි.




මේ අතර, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නව බස් රථ ශ්‍රී ලංකාව තුළ නවීන, සුරක්ෂිත මෙන්ම සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනු ඇති බවයි. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය නව මඟකට යොමු කරන මෙම ප්‍රයත්නය තුළින් අනාගතයේදී මගීන්ට වඩාත් උසස් මට්ටමේ ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන බවත්, ඒ වෙනුවෙන් අදාළ සියලුම අංශ ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වුවද, රජයේ මෙම ක්‍රියාමාර්ගය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරන්නේ, 'මෙට්‍රෝ බස්' නමින් ගෙන්වා ඇති මෙම වාහන සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී අයුරින් ධාවනය කරවන බවයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම බස් රථ සේවාව සඳහා කිසිදු නීත්‍යානුකූල රාමුවක් සකස් කර නොමැති අතර, ආසන මට්ටමට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු වුවද වත්මන් තත්ත්වය තුළ මගීන් හිටගෙන පවා ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවයි. මෙට්‍රෝ නමින් වෙනම ස්වාධීන සමාගමක් නොමැති බව හෙළි කළ සභාපතිවරයා, මෙය මහා භාණ්ඩාගාරය සියයට 60ක සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සියයට 40ක කොටස් අයිතිය දරමින් පවත්වාගෙන යන, ලංගමයේම සෙවණැලි වැඩපිළිවෙළක් බවට ද ප්‍රකාශ කළ අතර මෙම බස් රථවල දෛනික සැබෑ ආදායම් වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස රජයට අභියෝග කළේය.




එමෙන්ම මෙම බස් රථවල පවතින තාක්ෂණික ගැටලු ද පෙන්වා දුන් ගැමුණු විජේරත්න මහතා, දැනට ධාවනය වන කිසිදු පෞද්ගලික බස් රථයක ස්වයංක්‍රීය (Auto Gear) පද්ධති භාවිත නොකරන්නේ ඉන් විශාල වශයෙන් ඩීසල් දහනය වන බැවින් යැයි පැහැදිලි කළේය. මෙට්‍රෝ බස් සඳහා මෙවැනි ස්වයංක්‍රීය ගියර් පද්ධති යෙදීමෙන් සිදුවන අධික ඉන්ධන නාස්තිය පිළිබඳව කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදුකර නොමැති බවට ප්‍රශ්න කරන ඔහු, මේ ආකාරයෙන් තවත් බස් රථ 100ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබීම කනගාටුදායක බව පැවසීය. දැනටමත් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන දේශීය පෞද්ගලික බස් කර්මාන්තය, රජයේ මෙම නව ව්‍යාපෘතිය හේතුවෙන් තවදුරටත් දැඩි පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමකට ලක්වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

another-104-metro-buses-to-sri-lanka---gamunu-kee

another-104-metro-buses-to-sri-lanka---gamunu-kee

another-104-metro-buses-to-sri-lanka---gamunu-kee