
රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට ස්ථාවර සහ දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා රජය විසින් නව වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.
කුමානායක මහතා විසින් මීට අදාළ නිල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස අශෝක පීරිස් මහතා කටයුතු කරන අතර, එහි ලේකම් ධුරය සඳහා නාලක දිසානායක මහතා පත් කර සිටියි.මෙම කොමිෂන් සභාවේ සාමාජික මණ්ඩලය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත් කර තිබේ. ඒ අනුව ඛේමා ඈන් විදුයා ස්වර්ණාධිපති, ප්‍රේමලාල් අබේසිංහ ගුණසේකර, මොන්ටි රණතුංග, නඩරාජ් රවිචන්ද්‍ර, වෛද්‍ය ර දොඹගේ විමල් ජයන්ත, ආචාර්ය ගම්ලත් මොහොට්ටිගේ මුදිත් සුජීව, හත්තසින්ගේ තිලකවර්ධන, විශ්‍රාමික බ්‍රිගේඩියර් පියල් ජූඩ් ප්‍රනාන්දු, අහමඩ් ලෙබේ මොහොමඩ් මුක්තාර්, සෙනරත් තිස්ස බණ්ඩාර රත්නායක, ලාල් චන්ද්‍ර වීරකෝන්, පියල් පත්මනාත, ජයවීර පතිරණ සහ සරත් ලාල් පෙරේරා යන මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
දීර්ඝ කාලයක සිට රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හමුවේ මතු වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යභාරයකි. මීට අමතරව, සමස්ත රාජ්‍ය සේවය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන යෝග්‍ය යෝජනා සැකසීම ද මෙයට පැවරී ඇත. එමෙන්ම, මෙම යෝජනා ඉදිරිපත් කිරීමේදී නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් අනාගත වෙනස්වීම් පුරෝකථනය කිරීම මෙන්ම, වෙනස් වන ලෝකයේ තාක්ෂණික පරිවර්තනයන්ට ගැළපෙන අයුරින් තාක්ෂණයෙන් සන්නද්ධ, පුරවැසියන් කේන්ද්‍ර කරගත්, සදාචාරාත්මක සහ වගකීම් සහගත රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය උපාය මාර්ග නිර්දේශ කිරීම ද කොමිෂන් සභාවේ සෙසු වගකීම් වේ. මෙම සියලු කාර්යයන් වසරක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.