
තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ දමාගොස් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය සහ සහාය දැක්වූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු අද (24) දින පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නුවරඑළිය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා තහවුරු කළේය.
දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම රියදුරා, ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇත.මේ අතර, අදාළ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ ද අද අලුයම යාපනය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් 17 වැනිදා තෙල්දෙණිය පොලීසිය විසින් මෝටර් රථයක් තුළ තිබී සොයාගනු ලැබුවේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක ලෙස සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නැමැති කාන්තාවකගේ මළ සිරුරකි. ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර සිරුර වාහනය තුළම දමා පලාගොස් තිබූ අතර, සැකකරු සොයා පොලීසිය දින 7ක් මුළුල්ලේ පුළුල් විමර්ශනයක් සිදුකර තිබුණි.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඒ අනුව එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ සිට සැකකරු ගැවසුණු ප්‍රදේශ ආශ්‍රිතව සෝදිසි කටයුතු ආරම්භ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ද ඇතිව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.
ලද තොරතුරුවලට අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු, සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය කයිතඩි ප්‍රදේශයේදී වටලා නතර කිරීමට පොලීසිය පියවර ගත්තේය. එම අවස්ථාවේදී සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ එක් දරුවෙකුද සිට ඇති අතර, සැකකරු මුව ආවරණයක් පැළඳ සහ ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිටි බව පොලීසිය පවසයි. තමන් යාපනයේ සිට වව්නියාව සහ කුරුණෑගල හරහා ගොස් එහි සිටින අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සැලසුම් කර තිබූ බව සැකකරු ප්‍රකාශ කළද, ඔහු තම පවුල සමඟ යාපනය මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට සූදානම්ව සිටි බවට පොලීසිය සැකකරයි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මේ වන විට සැකකරු යාපනයේ සිට නුවරඑළිය පොලීසිය වෙත රැගෙන එමින් පවතී.