
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රහසිගතව ඇතුළු වූ පුද්ගලයෙකු හෝ පිරිසක් එහි තිබූ ලිපිගොනු විනාශ කර, ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල අසුන්වල මඩ තවරා පළාගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන මෙම කාර්යාල පරිශ්‍රයට පසුගිය අටවැනිදා අලුයම කාලයේදී මෙම අනවසර ඇතුළුවීම සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අනුව, සැකකරු කාර්යාලය අසල පිහිටි වේල්ලක් ආධාරයෙන් වහලයට නැග, එහි වසා නොතිබූ ජනේලයකින් ඇතුළට පැමිණ ඇත. කාර්යාලය තුළ තිබූ ලිපිගොනු රැසක් අවුස්සා, ඒවා පොඩිකර ඉරා දැමීමෙන් සැලකිය යුතු හානියක් සිදුකර ඇති අතර, අනතුරුව එහි ආපනශාලාවට වැදී යෝගට් කිහිපයක් අනුභව කර කෝපි ද සකස් කර පානය කර තිබේ. සැකකරුවන් යෝගට් අනුභව කිරීමෙන් පසු හිස් බඳුන් කිහිපයක් ද එම ස්ථානයේම බිම දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
රජයේ නිවාඩු දිනයක් වූ එදින, මෙම කාර්යාලයේ එක් ජනේලයක් පමණක් අගුලු නොදමා විවෘතව තබා තිබීම පිළිබඳව පොලිසිය දැඩි සැකයක් මතු කරයි. කිසියම් පලිගැනීමේ චේතනාවක් මත මෙම ක්‍රියාව සිදුකර ඇතිද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය. කාර්යාලය තුළ වටිනා ලැප්ටොප් පරිගණක ඇතුළු දේපළ රැසක් තිබුණද, කිසිදු මුදලක් හෝ දේපළක් සොරාගෙන නොමැති බව තහවුරු වී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු දේපළ සොරකම් කිරීමේ අරමුණින් මෙයට ඇතුළු වූයේද යන්න පිළිබඳව ද සොයා බලයි.
සිද්ධිය වූ රාත්‍රියේ මෙම කාර්යාලයේ සේවකයින්ගෙන් කොටසක් වෙනත් ස්ථානයක පැවැති සුහද හමුවකට සහභාගී වී ඇති බවට උසස් පොලිස් නිලධාරියෙකු තොරතුරු අනාවරණය කර ඇත. සිද්ධිය වන අවස්ථාවේදී රාත්‍රී මුරකරුවෙකු ද සේවයේ යෙදී සිට ඇතත්, කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විමර්ශන සඳහා අවට ගොඩනැගිලිවල සවිකර ඇති කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
