barista-who-sold-food-without-price-weight-date-will-be-fined

පාරිභෝගික ආරක්ෂණ නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල පිහිටි ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකින් අනතුරුව මෙම ආයතනයට එරෙහිව නඩු පවරා තිබූ අතර, එහිදී ඉදිරිපත් වූ බරපතළ චෝදනා හතරකට විත්තිකාර සමාගම අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසු ඊයේ (10) මෙම තීන්දුව ලබා දී ඇත.




මෙම වැටලීමේදී අනාවරණය කරගත් කරුණු මත පදනම්ව අදාළ ආයතනයට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබුණි. මිල, බර, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දිනයන් වැනි කිසිදු අත්‍යවශ්‍ය තොරතුරක් ලේබලයේ සඳහන් නොකර කේක් විකිණීම සහ එවැනිම ලේබල් විස්තර රහිත බිස්කට් ඇසුරුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම ඊට ඇතුළත් වේ. මීට අමතරව, පාරිභෝගික නීතිරීතිවලට පටහැනි වෙමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම මෙන්ම, පාරිභෝගිකයන් නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් කෑම බීම සැකසීම සඳහා ශීතකරණ සහ ගබඩා තුළ තබාගෙන සිටීම යන චෝදනාවලටද මෙහිදී සමාගම වරදකරු විය.

මෙම සිදුවීම මුල් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමස්ත මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. කෙතරම් ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් සහිත සුප්‍රකට ස්ථානයකින් වුවද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී, ඒවායේ අඩංගු ලේබල, මිල ගණන් සහ කල් ඉකුත්වීමේ දින පිළිබඳව පාරිභෝගිකයන් නිරන්තරයෙන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව එම අධිකාරිය පෙන්වා දෙයි. තවද, මෙවැනි පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත්, කාර්යාල වේලාවන් තුළදී 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වහාම දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.