හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම පිණිස එහි පෙනී සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම පරීක්ෂණය ප්‍රධාන වශයෙන්ම 2008 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීම සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුවට සම්බන්ධ වීම යන කරුණු මත පදනම්ව ක්‍රියාත්මක වන්නකි. එහිදී නාවික හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමට අදාළ අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.ඊට අමතරව, රජයේ ප්‍රතිපාදන යොදාගනිමින් බ්‍රිතාන්‍ය නාවික ඇකඩමිය තුළ පුහුණුවක් ලබා ගැනීම පිළිබඳව ද අල්ලස් කොමිසම විසින් මෙහිදී විශේෂයෙන් විමර්ශනය කරනු ලබයි. වෙනත් අධිකරණ කටයුත්තකට සහභාගී වීමට තිබූ බැවින් ඊයේ දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව යෝෂිත රාජපක්ෂ මහතා විසින් මීට පෙර දැනුම් දී තිබුණි. ඒ අනුව අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද නැවත කැඳවීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු අද දිනයේදී මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට පැමිණි බව සඳහන් වේ. අත්අඩංගුවට පත් වූ යෝෂිත රාජපක්ෂ මහතා අද පස්වරුවේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
