පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිදුවීමකට සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා කොළඹ රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.
නිට්ටඹුව පොලිසියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (16) දිනයේ මෙම පියවර ගෙන ඇත්තේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුකූලවය.මෙම සිදුවීමට අදාළ විමර්ශන ආරම්භ වී ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. එහිදී නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක රැඳී සිටි බාල වයස්කාර දැරිය සහ ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරුණි. අනතුරුව සැකකාර පෙම්වතාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් භාරයට ගත් වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ගම්පහ මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය මීට පෙර අවස්ථා කිහිපයකදීම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.
අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වූ කරුණු මත ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් වින්දිත දැරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී ඇය හෙළි කර ඇත්තේ තමන්ව ප්‍රථමයෙන්ම දූෂණයට ලක් කරන ලද්දේ අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක විසින් බවයි. ඉන් පසුව සිය පෙම්වතා මෙන්ම ඥාතිත්වයෙන් මස්සිනා වන පුද්ගලයා අතින්ද තමන් විවිධ අවස්ථාවලදී අතවරයට ලක්වූ බව දැරිය ප්‍රකාශ කර ඇති අතර, පොලිසිය මෙම සියලු කරුණු අධිකරණය හමුවේ වාර්තා කර ඇත.
