real-friendships-are-not-strengthened-through-social-media

අද අප ජීවත් වන්නේ ලොව පුරා මිනිසුන් ක්ෂණිකව සම්බන්ධ විය හැකි ඉහළ තාක්ෂණික යුගයක වුවද, පෙරටත් වඩා හුදෙකලා බවක් බොහෝ දෙනෙකුට දැනෙමින් තිබේ. අන්තර්ජාලය හරහා සිය ගණනක් පුද්ගලයින් සමඟ අපගේ ජීවිතයේ තොරතුරු බෙදාහදා ගැනීමට අපට හැකියාව ඇතත්, සැබෑ මිත්‍රත්වයන් සොයා ගැනීම වර්තමානයේ ඉතා දුර්ලභ කරුණක් බවට පත්ව ඇත.

මේ සඳහා ප්‍රධානම හේතුවක් වී ඇත්තේ හුදු සන්නිවේදනය කිරීම සහ සැබෑ බැඳීමක් පවත්වා ගැනීම අතර ඇති වෙනස සමාජයට නිසි පරිදි අවබෝධ නොවීමයි.




සැබෑ මිත්‍රත්වයක පදනම වන්නේ නිරන්තරයෙන් කතාබහ කිරීම හෝ නිතර මුණගැසීම නොවේ. මිතුරන්ගෙන් අප බලාපොරොත්තු වන දේවල් වැඩි වන තරමට මිත්‍රත්වය ශක්තිමත් වේ යැයි බොහෝ දෙනා සිතුවද, එය ප්‍රායෝගික ලෝකය තුළ සාර්ථක නොවන මතයකි. අනවශ්‍ය බලාපොරොත්තු සහ නිරන්තර අවධානය, තහවුරු කිරීම් හෝ සහනදායී වචන මිතුරන්ගෙන් අපේක්ෂා කිරීම තුළින් සිදුවන්නේ එම බැඳීම වෙහෙසකර එකක් බවට පත්වීමයි. එක් අයෙකු පමණක් නිරන්තරයෙන් කැපවීම් කරන්නේ නම් එහිදී කලකිරීම් මතු වීම කිසිසේත්ම වැළැක්විය නොහැක.

රැකියාවේ වගකීම්, පවුලේ කටයුතු සහ ජීවිතයේ අනෙකුත් කාර්යබහුලතා වැඩි වීමත් සමඟම මිතුරන් සමඟ ගත කිරීමට ඇති කාලය සීමා වීම සාමාන්‍ය තත්ත්වයකි. සැබෑ මිතුරන් මෙම යථාර්ථය මනාව තේරුම් ගනී. මාස ගණනාවක් හෝ ඇතැම් විට වසර ගණනාවක් නිසි සන්නිවේදනයක් නොමැතිව සිටියද, නැවත මුණගැසුණු විට කිසිදු වරදකාරී හැඟීමකින් හෝ දිගු පැහැදිලි කිරීමකින් තොරව පෙර පරිදිම කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ඇත. එවැනි ශක්තිමත් බැඳීම් ගොඩනැගී ඇත්තේ බලාපොරොත්තු මත නොව, තම මිතුරාගේ ස්වභාවය ඒ ආකාරයෙන්ම පිළිගැනීමේ ශක්තිමත් පදනම මතය.




වර්තමාන තරුණ පරපුර සමාජ මාධ්‍ය ඔස්සේ ලබන ලයික්ස් (likes), අනුගාමිකයින් සහ අතථ්‍ය ලෝකයේ පිළිගැනීම පසුපස නිරන්තරයෙන් හඹා යයි. එහෙත්, අන්තර්ජාලයේ සිටින මිලියන ගණනක් වූ සම්බන්ධතාවලට කිසිදා සැබෑ මිතුරන් කිහිප දෙනෙකුගේ අඩුව පිරවිය නොහැකි බව ඔවුන් අවබෝධ කරගත යුතුව ඇත. ජනප්‍රියත්වය වෙනුවට සැබෑ මිතුරන් වෙනුවෙන් කාලය ආයෝජනය කිරීමට දරුවන්ට කියා දීම අත්‍යවශ්‍ය වේ. ජීවිතයේ අභියෝග හමුවේ අපව ශක්තිමත් කරන මිත්‍රත්වයන් කිසිදා පරිගණක ඇල්ගොරිතම හරහා නිර්මාණය නොවන අතර, ඒවා ගොඩනැගෙන්නේ කාලය, ගැඹුරු විශ්වාසය, සමාව දීම සහ හවුලේ බෙදාගන්නා අත්දැකීම් හරහා පමණි.

තමන් ගැනම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන වත්මන් තරඟකාරී සමාජය තුළ දීර්ඝකාලීන මිත්‍රත්වයක රහස ඉතා සරලය. එය නම්, පෙරළා කිසිවක් අපේක්ෂා නොකර අන් අයට උපකාර කිරීමත්, නිරන්තර සාක්ෂි නොඉල්ලා මිතුරන්ව විශ්වාස කිරීමත්ය. එමෙන්ම, අනෙකාට ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමට ඉඩ දෙන අතරම තමන්ගේ අනන්‍යතාවයද ආරක්ෂා කර ගැනීම මින් අදහස් කෙරේ. සැබෑ මිත්‍රත්වයන් කිසිවිටෙකත් බලපෑම් සහගත නොවන අතර, ඒවා සැමවිටම උපරිම නිදහස සහ ගැඹුරු විශ්වාසය මත පදනම් වූ ආශිර්වාදයන් බඳුය. කාලය කොතරම් ගතවුවද එම නොනැසෙන විශ්වාසය ජීවිතයේ ලැබිය හැකි විශිෂ්ටතම දායාදයක් ලෙස පෙන්වා දිය හැක. 
(වෛද්‍ය ෂිබා ජොජෝ ගල්ෆ් නිවුස් ලිපිය ඇසුරිනි)