
දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියස හෙට (19) සංවිධානය කර තිබෙන සැමරුම් වැඩසටහනේ පෙරහුරුව අතරතුරදී එය කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දැරූ ජාතික නිදහස් පෙරමුණේ කණ්ඩායමක් අද පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන පළා ගොස් තිබෙන බව වාර්තාවේ.
එම පක්ෂයේ නායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් මෙම ස්ථානයට මල් කළඹක් රැගෙන ඇවිත් ඇතුළට යාමට උත්සාහ කර තිබුනේ කැමරා කන්ඩායමක්ද කැඳවා ගෙනයි.
විමල් වීරවංශට උවමනාවී තිබුනේ කැමරාව ඉදිරියේ රජයට දොස් පවරමින් කථාවක් කිරීමට බව පැහැදිලිව පෙනී ගිය අතර ඔහු රණවිරුවන්ට ආණ්ඩුව සලකන්නේ නැතැයි කියමින් එම කිසිවක් නොදන්නා නිලධාරීන් ඉදිරියේ කථාවක් පවත්වා තිබුනේ පැමිණි කැමරා කරුවන්ට පුවත් සිරස්තල ලබාදීමටය.
අනතුරුව ස්මාරකය පිහිටි ප්‍රධාන භූමියට ඇතුළු වීමට ඔවුන් තල්ලු කරගෙන යාමට ප්‍රයත්න දැරූ නමුත් පෙරහුරුව අතරතුර ඇතුළට යාමට කිසිවෙකුට අවසර නොදෙන නිසා එහි ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන් එය වළකා තිබේ.
හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් එම ස්ථානයේ පෙරහුරු කටයුතු සහ සූදානම් කිරීම් සිදුවෙමින් පවතින බැවින් පිටස්තර පුද්ගලයින්ට ඒ වෙත ඇතුළු වීමට අවසර ලබා දිය නොහැකි බව පොලිසිය විසින් පිරිසට දිගටම දැනුම් දුන්නත් නීතියට අවනතවීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකුද වන විමල් වීරවංශ 'කොටින්ටද එහෙනං ඉඩදෙන්නේ' කියමින් කෝපාන්විතව බැණවදිමින් පොලිස් නිලධාරීන් තල්ලු කර ඇතුළට පැනයාමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ දිවයද්දී පය පැකිලී බිම ඇද වැටී ඇති බව ද වාර්තා වේ.
මෙම පිරිස අතරින් දෙන්නෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබුණි.
මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ, නිලධාරීන්ගේ රාජකාරියට සහ ජාතික සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා වන අයුරින් බලහත්කාරයෙන් රණවිරු ස්මාරක භූමියට ඇතුළු වීමට උත්සාහ කළ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි. එලෙස අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කරමින් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණමය පියවර ගන්නා බව ද පොලිසිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
