ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම මරණය සිදුවන අවස්ථාවේදී ඔහු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳී සිට ඇති අතර, ඊට යාබදව පිහිටි නිවාස දෙකක සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිවල දර්ශන මේ වන විට විමර්ශකයින් විසින් සිය භාරයට ගෙන ඇත.
අධිකරණය මගින් ඇප ලබා දීමෙන් පසුව මියගිය කපිල චන්ද්‍රසේන මහතා අදාළ නිවස වෙත පැමිණි මොහොතේ පටන් ඔහුගේ මෘත දේහය පොලිස් භාරයට ගන්නා අවස්ථාව දක්වා වූ සම්පූර්ණ කාලසීමාව එම ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇති බව වාර්තා වේ. මීට අමතරව අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. පද්ධතියට අයත් ඩී.වී.ආර්. (DVR) යන්ත්‍රය ද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ.
පොලිස් භාරයට ගත් අදාළ සී.සී.ටී.වී. දර්ශන ඉදිරි විමර්ශන කටයුතු සඳහා යොමු කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කර සිටියි. ඊට සමගාමීව, මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් ජල බෝතලයක් සහ කඩදාසිවල ඔතන ලද නමක් සඳහන් නොවන ඖෂධ වර්ග කිහිපයක් ද ඇතුළු ද්‍රව්‍ය වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
