why-was-the-sahaba-may-rally-banned-from-the-media

පසුගිය මැයිදිනයේ මාළිගාවත්ත පී. ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු නිදහස්ව සිදු කිරීමට දැඩි බාධා එල්ල විය. සංවිධායකයින් විසින් පනවන ලද දැඩි සීමාවන් හේතුවෙන් මාධ්‍යවේදීන්ට සුපුරුදු පරිදි සිය රාජකාරි ඉටු කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී ගියේය.





මුද්‍රිත මාධ්‍යවේදීන්ට කථිකයන්ගේ අදහස් පටිගත කිරීම සඳහා වේදිකාව අසල රැඳී සිටීමට අවසර හිමි නොවීය. සමගි ඒකාබද්ධ සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් පක්ෂයේ මැයි දින යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී මුද්‍රිත මාධ්‍යවේදීන්ට පිටුපසට යන ලෙස උපදෙස් දෙනු ලැබිණි. කථා පටිගත කිරීම සඳහා තමන්ට ඉදිරියෙන් රැඳී සිටීමට අවශ්‍ය බව මාධ්‍යවේදීන් කොතරම් පැහැදිලි කළද, සංවිධායකයින් සිය ස්ථාවරය වෙනස් කිරීමට කටයුතු කළේ නැත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රැලියේ ප්‍රධාන සංවිධායකයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට පැමිණිලි කිරීමට මාධ්‍යවේදීහු පියවර ගත්හ. එහිදී මන්ත්‍රීවරයා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය කිරීමට ඉඩ සලසන ලෙසට කනිෂ්ඨ සංවිධායකයින්ට උපදෙස් ලබා දුන්නද, ඔවුන් එම උපදෙස් පිළිපදින්නේ නැතිව දිගින් දිගටම මාධ්‍යවේදීන්ට බාධා කර තිබේ.




මීට අමතරව, ලංකාදීප ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණ මහතාට සිය කැමරා සහ අනෙකුත් උපාංග ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට පවා අවසර ලබා දී නොතිබුණි. තමන්ට කැමරා උපකරණ රැගෙන යාමට ඉඩ නොදෙන ලෙස සමගි ජන බලවේගයේ මාධ්‍ය නිලධාරියෙකු විසින් ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දෙනු තමා පැහැදිලිවම දුටු බවත්, ඒ හේතුවෙන් තමන් කිසිදු ආවරණ කටයුත්තක් සිදු නොකර නැවත කාර්යාලය වෙත යාමට තීරණය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

රූපවාහිනී කැමරා ශිල්පීන්ට ද මෙම රැලිය ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර, රූපවාහිනී නාලිකා සඳහා අවශ්‍ය වීඩියෝ දර්ශන සමගි ජන බලවේගයේ මාධ්‍ය කණ්ඩායම විසින් ලබා දෙනු ඇති බව සංවිධායකයින් විසින් ඔවුන්ට දැනුම් දී ඇත. ඒ අනුව උළෙල සජීවීව හිරු ඇතුළු නාලිකා විකාශය කර තිබුනේ සජබ මගින් ලබාදුන් දර්ශනයි. මෙම කරුණ ස්වාධීන රූපවාහිනී වාර්තාවක් මගින් ද තහවුරු කර තිබුණි. මෙලෙස දැඩි සීමාවන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගෙන් සමහරක් සමගි ජන බලවේගය පක්ෂය ආරම්භයේ සිටම එහි ප්‍රවෘත්ති ආවරණය කළ අය වීම ද විශේෂත්වයකි.



මෙම වෙනසට හේතුව පැහැදිලි නැත. කෙසේ වෙතත් නිල නොවන මට්ටමේ වාර්තා මගින් පෙන්නුම් කරේ හිස් ආසන සහිත කලාප විශාල වශයෙන් පැවතීම නිසා ඒවා මගින් දේශපාලනික අවාසියක් මතුකරාවි යන සැකයට මෙම විරෝධය පළ කර ඇති බවකි. එසේම සිරස ඇතුළු ඇතැම් මාධ්‍ය මගින් පෙන්නුම් කර තිබුනේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාව ආරම්භ වන විට විශාල වශයෙන් පිරිස් නැගිටයාම සිදුවූ බවකි.