සැත්කම් සහ විවිධ අනතුරු සිදුවූ අවස්ථාවලදී ඇතැම් විට සිරුරෙන් විඥානය ඉවත් වී යන අයුරු මනසින් දැකීම පිළිබඳව සිදුකරන පර්යේෂණ "ආසන්න මරණ අත්දැකීම්" (Near-Death Experiences) යනුවෙන් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් හදවත් සැත්කම් සිදුකරන අවස්ථාවලදී එවැනි අත්දැකීම් ලැබුවෝ සිටිති.
වෛද්‍ය අංශවල ද සාක්ෂි සහිතව අනාවරණය වූ එවැනි සිදුවීම් (Near-Death Experience in Survivors of Cardiac Arrest) වශයෙන් ද පර්යේෂණවලට ඇතුළත් වී ඇත.එවැනි අත්දැකීම් ලැබූවන් පිළිබඳව සිදුකළ පර්යේෂණ රැසක් ශ්‍රී ලංකාවෙන් ද පර්යේෂණ ග්‍රන්ථවලට ඇතුළත් වී තිබේ. ඒ අතරින් දේශබන්දු ගොඩගේ මහතා ද එවැනි අත්දැකීමක් ලැබූ අයෙකි. එම අත්දැකීම ලබන විට එතුමා හැත්තෑපස්වන වියේ පසුවිය. 2011 වසරේදී ඒ මහතා හදවත් සැත්කමකට යොමු වී පෞද්ගලික රෝහලක දී ලැබූ එම අත්දැකීම පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අපට එදා අවස්ථාව ලැබිණි. සැත්කම සිදුකරද්දී ඔහු සිරුරෙන් ඉවත් වූ බව දැනුණ බැව් ඔහු ප්‍රකාශ කළේය.
එදා ඇතිවූ රෝගී තත්ත්වයත් අනතුරුව ලැබූ අත්දැකීමත් ඔහුගේම වචනවලින්ම ප්‍රකාශ කළේ මෙසේය.
"මම එළවළුත් සමග ආහාර ගත්තා. එදා සෙනසුරාදා දිනයක්, මට කිහිප විටක්ම වමනය ඇතිවුණා. ආහාරවලින් කිසියම් වරදක් ඇතැයි සිතුවේ නෑ. වමනය නතර වුණේ නෑ. ඒ සමගම මගේ පපුවේ දැවිල්ලක් ද ඇතිවුණා. මාව රෝහලකට ගෙන යාමට මගේ බිරිය කටයුතු කළා. රෝගී තත්ත්වය වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කළා. අනතුරුව හදවත් පරීක්ෂණයකට භාජනය කළා. එහිදී හදවත් රෝගය සොයා ගත හැකිවුණා. ඒ අනුව හදවත් සැත්කමක් සිදුකළ යුතු බැව් තීරණය වුණා.
එම හදවත් සැත්කම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම සිදු වුණේ 2011 ජූලි 13 වනදායි. ශල්‍යාගාරය වෙත ගෙන ගිය අයුරු මට හොඳට මතකයි. ඒ අවස්ථාවේ වෛද්‍යවරුන් බෙහෙත් එන්නත් කරන අයුරුත් මා දුටුවා. මා කිසිම බියක් නැතිව සිටියා. එක්වරම වෛද්‍යවරුන් කතා කරන හඬ මට නෑසී ගියා.
මේ අතරතුර මා පුදුම අත්දැකීමක් ලැබුවා. මා එක්වරම මගේ පොත් මැදුරේ උඩු මහලේ මාගේ කාර්යාලයට ගියා. එහි සිටි මුද්‍රණ අංශයේ නිලධාරිනියක අත ලේඛන සහිත පොතක් තිබුණා. ඇය එය මට පෙන්වමින් මා මෙතෙක් සිදුකර ඇති සේවාවන් පිළිබඳව මට පැහැදිලි කළා. එතරම් විශාල පිරිසකට පිහිට වී සේවය කිරීමට ලැබීම ගැන මා අතිශයින් සතුටට පත්වුණා. මා සේවය ලබාදී පිහිට වූ පිරිස අතිවිශාල බැව් එමගින් මා දුටුවා. ඒ අවස්ථාවේ මට ඇතිවූයේ කියා නිම කළ නොහැකි සතුටක්.
එම නිලධාරිනිය ලේඛන මගින් මගේ සේවාව තව තවත් විස්තර කරමින් සිටියා. ඇගෙන් ඒ පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කිරීමට මා සූදානම් වුණා. එක්වරම ඇය අතුරුදන් වුණා. ඒ සමගම මගේ සිරුරට දැඩි වේදනාවක් දැනුණා. මා එවිට සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් මතයි." ගොඩගේ එතුමා පැවසීය.
ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා එදා ඒ මහතාට ඉදිරිපත් කළ ප්‍රශ්න හා ඒ මහතා දුන් පිළිතුරු ලිඛිතව සටහන් වී ඇත්තේ මෙසේය.
ඔබ ලැබූ අත්දැකීම ඔබට හොඳට මතක ද? ඔව් මට හොඳට මතකයි.
එය සිදුවූයේ කෙසේදැයි විස්තර කළ හැකි ද? එය සිදු වූයේ මගේ සැත්කම සිදුවන අතරතුරයි.
ශල්‍යකර්මය සිදුකිරීමට ඔබට සිහි නැති කරන බව ඔබ දැන සිටියා ද? එය සිදුවූයේ කෙසේ ද? මට සිහි නැති කිරීමට ඖෂධ ලබා දුන් විට සිහි නැතිවෙන බව මා දැන සිටියා. ඒ නිසා මට එතරම් බියක් දැනුණේ නෑ. එන්නත ලබාදෙන විට වෛද්‍යවරුන් කතා කරමින් සිටියා. ඊට පසු ඔවුන්ගේ කතා මට නෑසී ගියා.
ඊට පසුව සිදුවූයේ කුමක් ද? මා එක් වරම මගේ පොත් මැදුරේ කාර්යාලයට ගියා.
ඔබ ගියේ කෙසේ ද? ගිය ආකාරය මා දන්නේ නෑ. එම රෝහලේ ශල්‍යාගාරයෙන් ඉවත්ව ගිය බැව් දැනුණා.
එම කාර්යාලයේ කුමන ස්ථානයකට ද ගියේ? උඩු මහලේ තිබුණු මගේ කාමරයට.
ඒ අවස්ථාවේ එහි සිටියේ කවුද? මගේ මුද්‍රණ අංශයේ නිලධාරිනියක් එහි සිටියා.
ඇය සිටියේ කුමක් කරමින් ද? ලේඛන අඩංගු පොතක් අතැතිවයි.
ඊට පසු සිදුවූයේ කුමක් ද? එම ලේඛන පොත පෙන්වමින් පුද්ගලයන්ට සිදුකර ඇති සේවාවල සටහන් මට පෙන්නුවා.
එම වාර්තා දකින විට ඔබට සිතුණේ මොනවා ද? කොතරම් විශාල පිරිසකට සේවය කර තිබේද යන්න මට දක්නට ලැබුණා. ඒ පිරිසට පිහිට වීමට ලැබීම මොන තරම් පිනක්ද කියා මට සිතුණා. එසේ සිතන විට මට කියා නිම කළ නොහැකි සතුටක් දැනුණා.
ඒ අවස්ථාවේ එසේ සිතන විට සිරුරේ වේදනාවක් දැනුණේ නැද්ද? නෑ මට කිසිදු වේදනාවක් දැනුණේ නෑ. එම නිලධාරිනියගෙන් තවත් කරුණු විමසන්නට සිතුවා. එවිටම ඇය අතුරුදන් වුණා.
ඊට පසුව සිදුවූයේ කුමක් ද? ඊට පසු මගේ සිරුරේ වේදනාවක් දැනුණා. එවිට මා සිටියේ රෝහලේ ඇඳ මතයි.
ඔබ කාර්යාලයේ කොතරම් වේලාවක් සිටියාදැයි මතක ද? නිලධාරිනිය අතුරුදන් වන තුරු සිටියා.
ඔබ නැවත රෝහලේ ඇඳ මත සිටින විට ඒ අවට සිටියේ කවුද? හෙදියන් සහ වෛද්‍යවරුන් කීප දෙනෙක් සිටියා. මගේ බිරියත් මා අසලට පැමිණි බැව් මා දුටුවා.
එම අත්දැකීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? මා සිතන්නේ එය හරිම සුන්දර අත්දැකීමක් ලෙසයි. කාර්යාලයට ගිය විටදී මගේ සේවය එම නිලධාරිනිය පෙන්වා දුන් විට මට දැනුණ සතුට අප්‍රමාණයි. එම සේවය මමම අගය කරමින් සතුටු වුණා.
ගොඩගේ සූරීන් එදා ලැබූ එම අත්දැකීම පිළිබඳව ගොඩගේ මහත්මිය සමග හෙළි කළේ කෙසේදැයි අපි ඒ මහත්මියගෙන් ද එදා විමසුවෙමු. එහිදී ඒ මහත්මිය ප්‍රකාශ කළේ සැත්කම සිදුවන විටදී ගොඩගේ මහතා කාර්යාලයට ගිය බැව් පැවසූ බවය. එහිදී එහි නිලධාරිනියක් එතුමා සිදුකළ සේවාවන් පෙන්වා දුන් බවත් ඒ අවස්ථාවේ ඔහු සතුටට පත් වූ බවත් ප්‍රකාශ කළ බැව් ඒ මහත්මිය ද පැවසුවාය. එම නිලධාරිනිය ලේඛනයක් මගින් ගොඩගේ සූරීන් කළ සේවාවන් විස්තර කරද්දී තවදුරටත් ඒ ගැන විමසීමට උත්සාහ කරන විටම ඇය අතුරුදහන් වූ බව ප්‍රකාශ කළ බැව් ද ගොඩගේ මහත්මිය අප සමග පැවසුවාය. ගොඩගේ සූරීන්ගේ මෙම අත්දැකීම ඔහු විසින් ලියන ලද ලේඛනයකට ද ඇතුළත් කර තිබේ.
ලේඛකයින් දහස් ගණනක් ගත්කතුවරුන් බවට පත්වීමට අත දුන්, ප්‍රකාශන අංශයේ සම්මාන රැසක් හිමිකරගෙන සිටි දේශබන්දු සිරිසුමන ගොඩගේ සූරීන් පසුගිය 28 වනදා දැයෙන් සමුගත්තේය. ඒ වන විට එතුමා 89 වන වියේ පසුවිය. සාහිත්‍ය කලාවට මහඟු සේවාවක් සිදුකළ එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. වරක් ඔහු හදවත් සැත්කමකට භාජනය විය. එහිදී මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට සම්බන්ධ සිරුරෙන් ඉවත්වීමේ අත්දැකීමක් ලබා තිබිණි. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයක් මෙහි ඇතුළත් කෙරේ.
| තිස්ස ජයවර්ධන (ඉරිදා ලංකාදීප)
