weight-loss-vaccine-failures-find-the-right-pill

බර අඩු කර ගැනීම සඳහා ලබා ගන්නා එන්නත් නතර කළ පසුවත්, ශරීරයේ බර යළි වැඩිවීම වළක්වා ගැනීමට දිනපතා ලබා ගත හැකි පෙත්තක් මගින් හැකියාව පවතින බව නවතම සායනික පරීක්ෂණ දත්ත මගින් අනාවරණය වී තිබේ. 'ඔර්ෆෝග්ලිප්‍රොන්' (orforglipron) ලෙස හැඳින්වෙන මෙම ඖෂධය මගින් තරබාරුකම ආශ්‍රිතව ඇති විය හැකි රෝගාබාධ 200කට වැඩි ප්‍රමාණයක් වළක්වා ගැනීමට රෝගීන්ට සහාය විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම අධික බර සහිත පුද්ගලයන් තරබාරුකම දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා මෙය මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




සතිපතා ලබා ගන්නා GLP-1 එන්නත් භාවිතය නතර කළ බොහෝ රෝගීන්ගේ බර වසරක් ඇතුළත යළිත් පෙර පරිදිම වැඩි වන බවත්, සාමාන්‍යයෙන් ඔවුන් අඩු කරගත් බරින් තුනෙන් දෙකක්ම යළි ලබා ගන්නා බවත් මීට පෙර සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී තිබුණි. ඉස්තාන්බුල්හි පැවැති 2026 තරබාරුකම පිළිබඳ යුරෝපීය කොන්ග්‍රසයේදී ඉදිරිපත් කළ මෙම නව පර්යේෂණ දත්තවලට අනුව, එන්නත් වෙනුවට වඩාත් ලාභදායී මෙම දෛනික පෙත්ත භාවිත කිරීමෙන් එම බර ප්‍රමාණය සාර්ථකව පවත්වා ගත හැකිය. බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන් සියයට 30ක් පමණ තරබාරුකමින් පීඩා විඳින අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් වෙනත් සෞඛ්‍ය ගැටලු සඳහා දැනටමත් ඖෂධ වර්ග කිහිපයක් ලබා ගන්නා බව වාර්තා වේ.

මෙම සායනික පරීක්ෂණයේදී 'ටර්සපටයිඩ්' (tirzepatide) එන්නත ලබාගෙන එය නතර කළ රෝගීන් දෛනිකව මෙම නව පෙත්ත ලබාගත් විට, ඔවුන් අඩු කරගත් බරින් සියයට 75ක් පමණ නොවෙනස්ව පවත්වා ගැනීමට සමත් වී තිබේ. එසේම 'සෙමග්ලූටයිඩ්' (semaglutide) එන්නත භාවිතා කළ අයගෙන් සියයට 80ක් පමණ මෙම පෙත්ත මගින් තම බර පාලනය කර ගැනීමට සමත් වූ බව නිරීක්ෂණය වී ඇත. මෙම පෙත්ත භාවිතයට මාරු වීම රෝගීන්ගේ රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම යහපත් අයුරින් පවත්වා ගැනීමටද හේතු වී තිබේ.




විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, එන්නත් මගින් ප්‍රතිකාර කිරීමේදී ඇති වන පිරිවැය, ගබඩා කිරීමේ අපහසුතා සහ පුද්ගලික අභිමතය යන කරුණු මත බොහෝ පිරිසක් එන්නත්වලට වඩා පෙති වර්ගයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වති. මෙම නව ඖෂධ එන්නත්වලට වඩා නිෂ්පාදනය කිරීමට ලාභදායී වුවද, එන්නත් තරම්ම ඉහළ මට්ටමකින් බර අඩු කිරීමේ හැකියාවක් පෙතිවලට නොමැති බව විද්‍යාඥයන් සඳහන් කරයි. කෙසේ වෙතත්, තරබාරුකම යනු අනෙකුත් නිදන්ගත රෝග මෙන් දිගුකාලීනව ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් බවත්, මෙම නව සොයා ගැනීම රෝගීන්ගේ බර පාලනය කිරීමේ අනාගතය සඳහා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් පර්යේෂකයෝ විශ්වාස කරති.