ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය. මෙම මරණය සිදුවූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව මෙහිදී අනාවරණය වූ අතර එම කරුණ විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
අදාළ මරණය සිදුවූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ කැමරා පද්ධතිය බැලූ බැල්මට සක්‍රිය මට්ටමක පැවතියද, එහි දර්ශන ගබඩා කිරීමේ සහ පටිගත කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට අක්‍රිය වී පැවතීම හේතුවෙන් මරණය සිදු වූ අවස්ථාවේ කිසිදු දර්ශනයක් එම පද්ධතියට හසු වී නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
කෙසේ වෙතත්, එම ස්ථානයේ දර්ශන නොමැති වීම හේතුවෙන් විමර්ශන නිලධාරීන් විසින් අදාළ නිවසට ඇතුළු වන සහ පිටවන මාර්ග ආවරණය වන පරිදි අසල පිහිටි අනෙකුත් නිවාසවල සවිකර ඇති සීසීටීවී පද්ධතිවල දර්ශන මේ වන විට පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට ප්‍රකාශ කළේ, පසුගිය මැයි 12 වන දින මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අයත් තවත් නිවසක් සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී එම නිවසේ තිබී සොයාගත් ලැප්ටොප් පරිගණකයක් සහ වැදගත් තොරතුරු ඇතුළත් යැයි සැක කෙරෙන ලේඛන කිහිපයක් නඩු භාණ්ඩ ලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
