දරුවන් එළවළු ආහාරයට ගැනීමට හුරු කිරීම මවගේ ගර්භාෂය තුළ සිටින අවධියේදීම ආරම්භ කළ හැකි බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. කුඩා දරුවන්ට එළවළු කැවීම දෙමාපියන්ට විශාල අභියෝගයක් වී ඇති පසුබිමක, බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සුවිශේෂී සොයා ගැනීම සිදු කර ඇත.
පර්යේෂකයන් විසින් ගර්භණී මව්වරුන් පිරිසකට කැරට් සහ කේල් (kale) එළවළු කුඩු අඩංගු කරල් ලබා දී ඇති අතර, ඉන්පසු අතිධ්වනි (ultrasound) ස්කෑන් පරීක්ෂණ මගින් ගර්භාෂය තුළ සිටින කලලයන්ගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කර තිබේ. එහිදී කැරට් රසයට නිරාවරණය වූ කලලයන් සිනහව වැනි ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, කේල් එළවළු සුවඳට නිරාවරණය වූ කලලයන් මුහුණ ඇඹුල් කිරීම වැනි ප්‍රතිචාර දැක්වූ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ.
මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල දරුවන් උපත ලබා සති තුනක් සහ වයස අවුරුදු තුනක් වන තෙක් අඛණ්ඩව නිරීක්ෂණය කර ඇති අතර, ගර්භාෂය තුළදී යම් ආහාරයක රසයට නැවත නැවතත් නිරාවරණය වූ දරුවන් පසුකාලීනව එම ආහාරවල සුවඳට අහිතකර ලෙස ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවණතාව අඩු බව තහවුරු වී ඇත. දරුවන් තම මව ගර්භණී සමයේදී ලබාගත් ආහාරවල රසය සහ සුවඳ පිළිබඳ මතකය වසර ගණනාවක් පුරා පවත්වා ගන්නා බව මෙයින් පැහැදිලි වෙයි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය බෙයිසා උස්ටුන්-එලායන් පවසන පරිදි, මවගේ ආහාර රටාව දරුවාගේ අනාගත ආහාර රුචිකත්වය හැඩගැස්වීමට නිහඬවම බලපානු ලබයි. මෙම ක්‍රමය විවිධ සංස්කෘතීන්වලට සහ ආහාර රටාවලට ගැළපෙන පරිදි සකස් කිරීමෙන් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් බිහි කළ හැකි බව පර්යේෂණ කණ්ඩායමේ නායිකා මහාචාර්ය නද්ජා රයිස්ලන්ඩ් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, කෘතිම රසකාරක සහ දන්තාලේප වැනි ද්‍රව්‍යවල අඩංගු සුවඳ ද්‍රව්‍ය කලලයට බලපාන ආකාරය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති. "Developmental Psychobiology" සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනය සඳහා ප්‍රංශයේ සහ නෙදර්ලන්තයේ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් ද දායක වී ඇති අතර, මෙය දරුවන්ගේ මුල් කාලීන ආහාර පුරුදු පිළිබඳව සිතීමට නව මාවතක් විවර කර දී ඇත.
