15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා අද (08) නිට්ටඹුව පොලිසියට නියෝග කළේය. මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද අධිකරණය මෙහිදී පියවර ගත්තේය.
මෙම නියෝග ලබා ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය. අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන හිමිනම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව හා වාචිකව විමසා සිටියද, පොලිසිය ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඇය එහිදී අනාවරණය කළාය.
පොලිස් පරීක්ෂණවල පවතින මන්දගාමී ස්වභාවය හේතුවෙන් අගතියට පත් දැරියට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වන බැවින්, විශේෂ මෝසමක් මගින් මෙම නඩුව කැඳවීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය තීරණය කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අටමස්ථානාධිපති හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කිරීමට නිට්ටඹුව පොලිසියට අවසර ලබා දෙමින් ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
මෙම ලිංගික අපයෝජන සිද්ධියට අදාළව මීට පෙර ද තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වූ අතර, වත්මන් නඩු කටයුතු 22424/2026 බී අංකය යටතේ අධිකරණය හමුවේ විභාගයට ගැනේ.
