cyber-crimes-by-foreigners-staying-in-the-country-are-on-the-rise

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයන් සයිබර් අපරාධ සඳහා යොමුවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එම්.යූ. වුට්ලර් මහතා ඊයේ (07) අනාවරණය කළේය. නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, නිවාස සහ ගොඩනැගිලි කුලියට ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පොලිසිය දැනුවත් කරන ලෙස ද එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.




පරිගණක අපරාධ කොට්ඨාසයේ දත්තවලට අනුව 2025 සහ 2026 යන වසර තුළදී මෙරට සයිබර් අපරාධවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී ඇත. විශේෂයෙන්ම 2024 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේදී අදාළ අපරාධ සංඛ්‍යාව විශාල අගයකින් වර්ධනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය. ජනතාව තම වගකීම් පිළිබඳව නිසි අවධානයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස විවිධ වංචාකරුවන්ට ඉතා පහසුවෙන් සිය අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වී තිබේ.

පසුගිය සති දෙක තුනක කාලය පුරාවටම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විදේශිකයන් රැසක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් විය. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් මෙන්ම පරිගණක අපරාධ සම්බන්ධයෙන් ද මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, 2026 වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළදී පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් 628 දෙනෙකු දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත, ගල්කිස්ස, මීගමුව, පෝද්දල, හලාවත සහ කොස්වත්ත යන ප්‍රදේශ මුල්කරගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇති අතර, එලෙස අත්අඩංගුවට පත් පිරිස අතරට ඉන්දීය, වියට්නාම්, චීන, මියන්මාර, පිලිපීන සහ කාම්බෝජ යන ජාතිකයින් අයත් වේ.




මෙවැනි පසුබිමක් තුළ තමන් සතු නිවසක්, ගොඩනැගිල්ලක්, හෝටලයක් හෝ යම් ආයතන පරිශ්‍රයක් කුලියට හෝ බද්දට ලබාදීමේදී වඩාත් විචක්ෂණශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාව පොලිසිය විසින් අවධාරණය කරනු ලබයි. යම් පාර්ශ්වයකට දේපළක් කුලියට ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට ජනතාව බැඳී සිටින අතර, අදාළ කුලී නිවැසියන් පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක ලබාදීමට ද ඔවුන් සූදානම් විය යුතුය. එලෙස නිසි සෙවිල්ලකින් තොරව කටයුතු කිරීමෙන්, විදේශිකයන් එම ස්ථානවල රැඳී සිටිමින් සිදුකරන නීති විරෝධී ක්‍රියාවන්හි වගකීම දේපළ හිමිකරුවන්ට ද දැරීමට සිදුවන බවත්, එමඟින් ඔවුන් ද නිකරුණේ වැරදිකරුවන් බවට පත්වනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.