ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වන බව එයාර් බස් ගනුදෙනුවේ චෝදනාවට ලක්වූ පාර්ශ්වය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී අද (08) දින චන්ද්‍රසේන මහතා මියගොස් සිටියදී සොයාගැනීමෙන් අනතුරුව, පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහලේකම්වරයා මේ බව අවධාරණය කළේය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි. කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) දිනයේදී අධිකරණය විසින් යළි නියෝගයක් නිකුත් කරනු ලැබීය. චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් ව්‍යාජ පුද්ගලයින් බවට ඉදිරිපත් වූ කරුණු මත මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර තිබූ අතර, නඩුව අවසන් වන තෙක් ඔහුව වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අවදානමක් ද මතු වී තිබූ බව සඳහන් වේ.
මෙම සිදුවීම් මාලාව තුළ කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බව සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය. රක්ෂිත බන්ධනාගාරයක සිටින පුද්ගලයෙකුට ඇපකරුවන් සොයාගැනීම ප්‍රායෝගිකව අපහසු බැවින්, අදාළ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා ඔහුට හඳුන්වා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම සෙවිය යුතු බව හෙතෙම සඳහන් කළේය. මෙය යම්කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ කළ මහලේකම්වරයා, අධිකරණ පරිශ්‍රයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ මේ පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු බවද ප්‍රකාශ කළේය.
මෙම ඇපකරුවන් ලබාදීමේ ක්‍රියාවලියට බන්ධනාගාර නිලධාරීන් හෝ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මැදිහත් වී ඇත්දැයි සෙවීම සඳහා අධිකරණ මට්ටමේ පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවද කාරියවසම් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම අදාළ ඇපකරුවන් ව්‍යාජ පුද්ගලයින් බවට අල්ලස් කොමිසම හදිසියේම දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව ද සමාජය තුළ බලවත් සැකයක් නිර්මාණය වී ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.
මේ අතර, මියගිය කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, අධිකරණය විසින් නිකුත් කළ යළි අත්අඩංගුවට ගැනීමේ නියෝගයට අනුව අද (08) උදෑසන 10.00 ට පෙර මෝසමක් මාර්ගයෙන් තම සේවාදායකයා අධිකරණයට භාර කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවයි. එම මෝසම ගොනු කර ඔහු අධිකරණයට පැමිණීමට නියමිතව සිටි අතරතුර මෙම හදිසි මරණය පිළිබඳව අසන්නට ලැබුණු බවත්, සිද්ධිය වූ ස්ථානයේ රැඳී සිටින සිය නීතිඥ මණ්ඩලයේ තවත් නීතිඥවරයෙකු අධිකරණයට භාර වීමට තිබූ සූදානම පිළිබඳව අදාළ ප්‍රකාශ ලබාදීමට කටයුතු කරනු ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් තහවුරු කළේය.