the-two-asanas-who-sent-kapila-to-get-bail-of-ten-crores-from-a-garden-are-remanded

මුදල් සහ බලය හමුවේ මෙරට නීතියේ සිදුරු කොතරම් විශාලද යන්න යළි යළිත් ඔප්පු වෙමින් පවතී. කෝටි ගණනක ඇප මත මුදාහැරෙන ප්‍රභූන්ට ව්‍යාජ ඇපකරුවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් අධිකරණය හමුවේ හෙළිදරව් වෙමින් තිබේ.




ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී එයාර්බස් යානා දහයක් මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇප තැබීමට පැමිණි ව්‍යාජ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමඟ මේ අඳුරු යථාර්ථය යළිත් කරළියට පැමිණ ඇත. අධිකරණය විසින් ඔහුට නියම කර තිබූ රුපියල් කෝටි දහයක දැවැන්ත ශරීර ඇප දෙකක් වෙනුවෙන් ඉදිරිපත් වී තිබුණේ, කිසිදු ස්ථිර ආදායමක් හෝ රැකියාවක් නොමැති අලුත්කඩේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති අසරණයින් දෙදෙනෙකි.

 කපිල චන්ද්‍රසේන යනු කවුරුන්දැයි පෞද්ගලිකව හෝ නොදන්නා මොවුන්, 'දේවා' සහ 'තිස්ස' නැමැත්තන්ගේ මෙහෙයවීම මත හුදෙක් රුපියල් පහළොස්දහසක කුලියට මෙම කෝටි ගණනක වගකීම භාරගැනීමට අධිකරණය හමුවට පැමිණ තිබුණි.

රුපියල් පහළොස්දහසේ කුලියට කෝටි දහයක ඇපකරුවන් වීමට ඉදිරිපත් වූ කිසිදු ස්ථිර ආදායමක් නොමැති අසරණයන් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ ලගිද්දී, කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කොල්ලකෑ මහ මොළකරුවෝ නීතියේ හිඩැස්වලින් ඉතා සූක්ෂමව රිංගා යමින් සිටිති. මොවුන් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය ද මේ වන විට දැඩි සැකයකට තුඩු දී ඇති අතර, ඒ පිළිබඳව පුළුල් වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පොලිසියට නියෝග කර ඇත. 1997 අංක 30 දරණ ඇප පනතේ විධිවිධාන යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ පමණින් මේ අසරණයින් දෙදෙනා හිරේ දමා අත පිසදාගැනීමෙන්, මෙහි සැබෑ සැලසුම්කරුවන් නීතියෙන් ගැලවී යාමේ දැඩි අවදානමක් පවතී.




මෙවැනි සිදුවීම් හරහා දේශීය නීතිය හා විමර්ශන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීමේ ආනිශංස කෙතරම්ද යත්, ආන්දෝලනාත්මක සිදුවීම් සඳහා සෘජුවම විදේශීය මැදිහත්වීම් ඉල්ලා සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇත.

දැන් අප හමුවේ ඉතිරිව ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. කපිල චන්ද්‍රසේනට ඇප වීමට මේ අහිංසක පුද්ගලයින්ව මෙහෙයවූ අදෘශ්‍යමාන හස්තයන් කවුරුන්ද යන්න කෙසෙල්වත්ත පොලිසිය විසින් නිසියාකාරව හෙළිදරව් කරනු ඇත්ද?