
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. 2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත මෙම නඩුව ගොනුකර ඇත.
මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ මෙලෙස නව නඩු පැවරීම සිදුකර තිබේ.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව තවත් පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි. කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, දණ්ඩුසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න යන අය එම විත්තිකරුවන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර තිබූ අතර, පසුව විත්තිකරුවන් විසින් මාස තුනකදී රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසියකට යටත් වීම මත දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.
මෙම නඩුවේ නෛතික පසුබිම සලකා බැලීමේදී, මුල් අවස්ථාවේ ගොනු කළ අධිචෝදනා පත්‍රයේ නෛතික වලංගුභාවය අභියෝගයට ලක් කරමින් විත්තියේ නීතිඥවරුන් විසින් මූලික විරෝධතා මතුකරන ලදී. එම විරෝධතා පිළිගත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, 2024 මැයි 31 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගත්තේය. ඉන් නොනැවතුණු අල්ලස් කොමිසම, 2024 අගෝස්තු 21 වැනිදා එම චෝදනා මතම යළිත් වරක් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේය.
දෙවැනි වරට පවරන ලද නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් විත්තියේ නීතිඥවරුන් නැවතත් මූලික විරෝධතාවක් මතු කළද, මෙවර මහාධිකරණ විනිසුරුවරයා එම විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය. එම තත්ත්වය මත ඉහත කී රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පමණක් මෙලෙස යළිත් වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇත.
