සර්වජන බලය පක්ෂයේ ප්‍රේමනාත් දොලවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ කියා තිබේ.
"අපි දැක්කා මේ දැන් විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනාම එකතු වෙන්න ඕන මොහොතක, දිලිත් ජයවීර මහත්මයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් ඇහුවාම සාගර කාරියවසම් මහත්තයා කියනවා "විහිළු කරන්න එපා" කියලා. ඒ එහෙමද කරන්න ඕනේ? නැත්නම් ඔබ ඒක දකින්නේ කොහොමද?
සාගර කාරියවසම් මහත්මයාගේ තත්ත්වය ඔහොම තමයි. එයා හැමදාම සමගි වෙන්න තියෙන අවස්ථාවලදී ඒ සමගිය කඩනවා.
මට මතකයි අපේ ආණ්ඩුව ඇතුළේ ඉඳන් මුලින්ම උදය ගම්මන්පිල මහත්තයට බැන්නේ එතුමා.
අපි ආණ්ඩුව තුළ ඉඳලා සාගර කාරියවසම් මහත්තයාට අවවාද කරලා තියෙනවා භේද ඇති කරන්න එපා කියලා.
මට මතකයි එතුමා තමයි කිව්වේ, විශාල අර්බුදයක්, අරගලයක් තියෙනකොට අපේ ගෙවල්වලට ආවොත් අපිත් ගහනවා කියලා. එතුමාගේ ගෙවල් කවුරුත් දන්නේ නැහැ. අපේ ගෙවල් පරම්පරා ගාණක් තිස්සේ තියෙන ගෙවල්. අපේ ගෙවල් කවුරුත් දන්නවා.
ඒක තමයි අපේ ගෙවල්වලට ගැහුවේ. නැත්නම් අපිට ගහන්න අවස්ථාවක් නැහැ. හොඳ වෙලාවට අපේ ගෙවල් පිච්චුවේ නැහැ. ගහලා විතරක් බේරුණා. ඉතින් මගේ ඥාති මිත්‍රාදීන්, මගේ අම්මා තාත්තා ඔක්කොම ඉන්නේ ඒ ගෙවල්වල නිසා ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්.
ඉතින් ඔය වගේ පුරසාරම් කතා කියලා, ඔය වගේ නොමේරූ කතා කියලා, සමගියක් ඇති වෙලා අපි විපක්ෂය හැටියට එකතු වෙන්න තියෙන වෙලාවක සාගර කාරියවසම් මහත්මයා වගේ නොමේරූ දේශපාලන ඥානයක් තියෙන අය ඔය විදිහට කියන එක වැරදියි. විපක්ෂය එකතු වෙන්න කියලා මේ රටේ ඉන්න සියලුම ජනතාව කියනවා. සමූපකාර ඡන්දවලදීත් හැම වෙලාවෙම ඒක කියනවා.
අනිත් කාරණය තමයි, පැහැදිලිව කියන්න ඕනේ; 3%ක් සහ ආසන තුනක් තිබිලා අනුර කුමාර දිසානායක මහත්තයා මේ රටේ ජනාධිපති වුණා නම්, නාමල් රාජපක්ෂ මහත්තයාටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. දිලිත් ජයවීර මහත්තයාටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් ජනාධිපති වෙන්න පුළුවන්. එහෙම ජනාධිපති වෙන්න බැහැ කියලා කාටවත් කියන්න බැහැ.
ඉතින් ඒ නිසා මිනිස්සු තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තුත් එක්කයි වැඩ කරගෙන යන්නේ. එතකොට ඒ බලාපොරොත්තුව එක්ක වැඩ කරනකොට මිනිස්සුන්ට එහෙම ගරහන එක, එහෙම නිග්‍රහ කරන එක සහ සුළුකොට තකන එක සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න පුළුවන්.
හැබැයි මේ රට පාලනය කරපු, මේ රටේ ජනාධිපතිවරු බිහි කරපු, මේ රටේ ආණ්ඩු බිහි කරපු සහ ඉදිරියටත් ජනාධිපතිවරු බිහි කරන්න ඉන්න පක්ෂයක මහලේකම්වරයෙකුට ඔය වගේ නොමේරූ, මිනිස්සුන්ව පහත හෙළන කතා කියන්න පුළුවන්කමක් නැහැ.
එහෙම කියනවා නම් ඒක එතුමාගේ මහත්මා ගතියට සුදුසු නැහැ. ඒ වගේම එතුමා බොහොම විවෘත පුළුල් කෙනෙක් වෙන්න ඕනේ. හැම කෙනාම කියන කාරණය අහන්න ඕනේ. හැම කෙනාම එකතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
දිලිත් ජයවීර මහත්තයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ පක්ෂවල නායකයන්ට ඒ විදිහට මඩ ගහන්න, ඒ විදිහට මිනිස්සුන්ව අපහාසයට ලක් කරන්න හොඳ නැහැ.
ඉතින් ඒක එතුමාගේ හැටි. අපි එතුමාට අනුකම්පා කරන්න තමයි තියෙන්නේ. නමුත් අපිට විශාල ගැටලුවක් තියෙනවා.
විපක්ෂය නියෝජනය කරන නායකත්ව මණ්ඩල සභිකයෙක් හැටියට මම හිතනවා, අපේ අභිප්‍රාය විය යුත්තේ මේ සියලු දෙනාම එක මේසෙකට ගේන එක කියලා."
